ට්‍රම්ප්ගේ පැමිණීමත් සමග ගෙන ඒමට අදහස් කර ඇති සංක්‍රමණික ප්‍රතිපත්ති කැනඩාවට දැඩි ගැටලුවක් විය හැකි බව මෙරට දේශසීමා ආරක්ෂක අංශ සැක පහළ කොට ඇත. නීතිවිරෝධී පදිංචිකරුවන් එක්සත් ජනපදයෙන් සමූහ වශයෙන් පිටුවහල් කිරීමේ ට්‍රම්ප්ගේ ප්‍රතිඥාව යටතේ කැනඩාවට ඇතුළු වීමට අපේක්ෂා කරන පිරිස වැඩි විය හැකි වුවත්, කැනඩාව එය වැළැක්වීම සඳහා දැඩිව කටයුතු කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය Dominic LeBlanc පවසා සිටී.
නීතිවිරෝධී සංක්‍රමණිකයන් මැඩ පවත්වමින් දේශසීමාවල අඛණ්ඩ ආරක්ෂාව තහවුරු කිරීමට මේ වන අවශ්‍ය සියලු කටයුතු යොදා ඇතැයි අමාත්‍යවරයා පවසයි. මේ සඳහා Royal Canadian Mounted Police (RCMP) සහ Canada Border Services Agency (CBSA) වැනි අදාළ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් හා කටයුතු කරන බවත් ඊට අවශ්‍ය අතිරේක මෙවලම් ලෙස ඩ්‍රෝන සහ හෙලිකොප්ටර් දේශසීමා සඳහා යොදවන බවත් සඳහන් වේ.
LeBlanc අමාත්‍යවරයා පවසන පරිදි සැක සහිත සංක්‍රමණිකයන් පරීක්ෂාව සහ තාවකාලික වීසා බලපත්‍ර කල් ඉකුත් වූ හෝ ආරක්ෂක තර්ජනයක් ඇති පුද්ගලයින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කැනඩාව මේ වන විටත් බලාත්මක කර ඇත. ශිෂ්‍ය වීසා හෝ සරණාගත හිමිකම් මත කැනඩාවට ඇතුළු වූ පුද්ගලයින් සම්බන්ධ ත්‍රස්තවාදී සැලසුම් දෙකක් මේ වසරේදී RCMP සහ බුද්ධි අංශ විසින් ව්‍යර්ථ කර ඇත. ඉන් එකක් නිව්යෝර්ක් නගරයේ ප්‍රහාරක සැලසුමකි. මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් පෙනී යන්නේ කැනඩාව නීතිවිරෝධී සංක්‍රමණික ගැටලුව බැරෑරුම් ලෙස ගෙන ඇති බව යැයි අමාත්‍යවරයා පවසයි.
පසුගිය වසරේදී කැනඩාව නීතිවිරෝධී සංක්‍රමණිකයන් 15,179 දෙනෙකු පිට කර ඇති අතර මේ වසරේදී මේ දක්වා පුද්ගලයින් 12,401 ක් පිටුවහල් කොට ඇත. මේ වන විට කැනඩාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වෙත ලැබෙන වංචනික වීසා අයදුම්පත් සංඛ්‍යාව සියයට 600 ක වැඩි වීමක් දක්නට ලැබෙන බවත් CBSA රඳවා තබා ගැනීමේ සහ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා ඩොලර් බිලියන 1 කට ආසන්න ආයෝජනයක් සිදුකරන බවත් LeBlanc පවසයි.
අනාගත තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා රටවල් දෙකම දේශසීමා දෙපස ‘සුපරීක්ෂාකාරීව’ සිටිය යුතු බව ඔහුගේ අදහසයි. එසේම මෙම දේශසීමා උල්ලංඝනය කිරීම් වැළැක්වීමට ක්‍රියා කිරීමේදී ඇතිවන අතිරේක ගැටලු විසඳීමට RCMP සහ CBSA වෙත අවශ්‍ය සම්පත් ලබා දීමට රජය සූදානම් බව ඔහු පවසයි.
තම රටෙන් නෙරපන සංක්‍රමණිකයින් පෙර වතාවේ මෙන් මෙවරද කැනඩාවට භාර ගැනීම කළහොත් එය අනාගතයේ එක්සත් ජනපදයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව ට්‍රම්ප් පවසයි. කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් නීතිවිරෝධීව ඇමරිකාවට ඇතුළු වන පුද්ගලයින් නිසා මත්ද්‍රව්‍ය සහ වෙනත් ත්‍රස්ත ක්‍රියා අවධානම ඉහළ යන බවත් මෙම ගැටලුව විසඳෙන තෙක් කැනඩා, මෙක්සිකෝ දෙරටටම සියයට 25 ක තීරුබදු ක්‍රියාත්මක කරන බවටත් ට්‍රම්ප් තර්ජනය කොට ඇත. “We hereby demand that they use this power, and until such time that they do, it is time for them to pay a very big price!” සමාජ මාධ්‍ය තුළ ට්‍රම්ප් සටහන් තබා තිබුණි.
කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු පැනවීමේ ප්‍රතිඥාව ට්‍රම්ප් ක්‍රියාත්මක කළහොත් එය බරපතල ගැටලුවක් විය හැකි නමුත් එයින් වන හානිය ඔහුගේ රට තුළද සිදුවනු ඇතැයි කැනඩාවේ ව්‍යාපාරික සහ දේශපාලන නායකයින් පවසා සිටියි. කැනේඩියානු ඇමරිකානු ව්‍යාපාරික කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී බෙත් බර්ක් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ උතුරු ඇමරිකාවේ ආර්ථික හා භූ දේශපාලනික ශක්තිය මෙයින් ඛාදනය කරනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොන්සර්වේටිව් පක්ෂයේ නායක Poilievre පවසන්නේ, ‘මට මත්ද්‍රව්‍ය නවත්වන්න ඕනෙකම තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සතුටු කිරීමට නොවෙයි. කැනේඩියානුවන් 47,000 කට අධික සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යවලින් මියගොස් ඇති නිසයි.’ ලෙසයි. එසේම ඔහු මේ පිළිබඳව අගමැති ටෲඩෝ වෙතින් ඉල්ලන්නේ පක්ෂග්රාහිත්වය පසෙක තබා මත්ද්‍රව්‍ය සඳහා නීති දැඩි කරන ලෙසයි.
ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජනයට ප්‍රතිචාර දක්වන ඔන්ටේරියෝ ප්‍රිමියර් ඩග් ෆෝඩ් පවසන්නේ, කැනඩාව කියන්නේ මෙක්සිකෝව නොවන බවයි. ට්‍රම්ප්ගේ අදහස් අසාධාරණ බවද ෆෝඩ් පවසයි. මෙක්සිකෝවෙන් එක්සත් ජනපදය හරහා කැනඩාවට පැමිණෙන මත්ද්‍රව්‍ය ගැන අවදානය යොමු කිරීමට කැනඩාවත් ක්‍රියාත්මක විය යුතු බව ෆෝඩ්ගේ අදහසයි.
කෙසේ වෙතත්, ඇමරිකාවේ දේශසීමා ඒජන්සියේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙක්සිකෝවට සාපේක්ෂව කැනේඩියානු දේශසීමාවේදී හසුවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ප්‍රමාණය අවම බව සඳහන් වේ. උදාහරණයක් ලෙස පසුගිය වසරේ කැනඩා-එක්සත් ජනපද දේශසීමාවේදී fentanyl රාත්තල් 43 ක් හසු වී ඇති අතර එම කාලය තුළ මෙක්සිකෝ මායිමේ හසු වී ඇති fentanyl ප්‍රමාණය රාත්තල් 21,148 කි. එමෙන්ම නීති විරෝධී සංක්‍රමණික තත්ත්වයත් කැනඩාව සහ ඇමරිකාව අතර මෙක්සිකෝවට සාපේක්ෂව අවම අගයක් පෙන්වයි. පසුගිය වසරේදී කැනඩා-එක්සත් ජනපද දේශසීමාවේදී හමුවූ නීතිවිරෝධී ඇතුළුවීම් 23,721 ක් වූ අතර මෙක්සිකෝ-එක්සත් ජනපද මායිමේදී එය මිලියන 1.5 කට අධික ලෙස සටහන් වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය LeBlanc පවසන්නේ, ‘දේශ සීමාව තර කිරීම හෝ තුනී කිරීම’ යන අදහසින් නොවුණත් දෙරටම ආරක්ෂිත, කාර්්යක්ෂම හා ඵලදායී දේශසීමාවක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවයි.