උත්සව සමයේ කැනේඩියානුවන්ගේ පොකට්ටුවට සහනයක් සැලසීමට ඩොලර් බිලියන ගණනක සැලැස්මක් ටෲඩෝ රජය එළි දක්වා ඇත. මේ වැඩ පිළිවෙළට අනුව මාස දෙකක කාලයක් සඳහා පුළුල් පරාසයක විහිදෙන නිෂ්පාදන රැසක GST/HST නිදහස් කෙරෙනු ඇත. මීට අමතරව 2023 වසරේ සේවය කළ සහ ඩොලර් 150,000 ට හෝ ඊට අඩු ආදායම් ලැබූ කැනඩාවේ මිලියන 18.7 ක ජනතාව වෙත ඩොලර් 250 ක චෙක් පත් ලබා දීමටද සැලසුම් කර ඇත. ‘Working Canadians Rebate,’ ලෙස නම් කර ඇති මෙම චෙක්පත් 2025 අප්‍රේල් මාසයේදී ජනතාවට ලැබෙන්නට සලස්වන බව අගමැති ටෲඩෝ පවසයි. GST/HST නිදහස් කිරීම මේ වසරේ දෙසැම්බර් 14 වන දින ආරම්භ වන අතර 2025 පෙබරවාරි 15 වෙනි දා දක්වා ක්‍රියාත්මක වේ.

මෙම GST නිදහස් කිරීමට වයින්, බියර් සහ ප්‍රමාණයෙන් ඇල්කොහොල් සියයට 7 ට අඩු මධ්‍යසාර පාන, ළමා සහ ළදරු නිෂ්පාදන, ආපනශාලා ආහාර, සියලුම වයස් කාණ්ඩවල පොත්, මුද්‍රණ පුවත්පත්, ලිපි ද්‍රව්‍යය ආදිය ඇතුළු භාණ්ඩ රැසක් ඇතුළත්ව ඇත. මෙම සහනය සමග කැනඩාවේ සියලුම ආහාර අත්‍යවශ්‍යයෙන්ම බදු රහිත වනු ඇත.
Ontario, Newfoundland, Labrador, Nova Scotia, New Brunswick  සහ Prince Edward Island යන පළාත්වල GST වලට අමතරව HST බද්දක්ද ඇතුළත් වන නිසා මෙම බදු සමපාත වීමේදී එම පළාත් වැසියන්ට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

මෙම සම්පූර්ණ වැඩ පිළිවෙළ සඳහා ෆෙඩරල් භාණ්ඩාගාරය ඩොලර් බිලියන 6.28 ක ඇස්තමේන්තුගත වියදමක් වෙන් කර ඇත. මෙයින් ඩොලර් බිලියන 1.6 ක් බදු සහනය සඳහාද ඩොලර් බිලියන 4.68 ක් ඩොලර් 250 ක චෙක්පත් සඳහාද වැය කෙරෙනු ඇත.

ටෲඩෝ ලිබරල් රජයේ මෙම බදු සහනය සහ මුදල් චෙක් පත පිළිබඳ අදහස් දක්වන කොන්සර්වේටිව් නායක Pierre Poilievre පවසන්නේ, මෙම උපක්‍රමය ජනතාවට ගෙන එන තාවකාලික සහනයක් පමණක් බවයි. මේ වන විට කැනඩාවේ දෛනික වියදම් දෙගුණ වී ඇති බවත් ආහාර බැංකු භාවිතය අහස උසට නැග ඇති බවත් කාබන් බද්ධ නිසා විශාල මුදලක් දැරීමට සිදුව ඇති බවත් ඔහු පවසයි. මෙම මුදල් මහජනතාව වෙත බෙදා දීමට මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බවත් එය කිසිසේත් රටට සුදුසු තත්ත්වයක් නොවන බවත් ඔහු පවසයි.

Share this Post