ට්‍රම්ප් නව පාලනය සමග කැනඩාවේ අනාගතය
‘ඇමරිකාවට කිවිසුමක් යන විට ලෝකයටම සෙම්ප්‍රතිශ්‍යාව වැළදෙනවා’ යයි කියමනක් ඇත. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ මෙවර ඇමරිකාවේ කිවිසුමට කැනඩාවට නියුමෝනියාව වුවත් වැළඳිය හැකි බවයි.
එක්සත් ජනපද දේශපාලනයේ පැවති ගැටුම් සහගත තත්ත්වය මැද මෙවර ට්‍රම්ප්, ජනාධිපති සටන ජයගන්නේ Democratic වරුන්ගේ ‘නිල් පවුරු’ දෙදරවමිනි. නොවැම්බර් 05 වැනිදා පැවති එක්සත් ජනපද ජනපතිවරණයේදී කොට්ඨාස සහ මහජන ඡන්දය යන දෙකෙන්ම බහුතරය දිනාගැනීමට ට්‍රම්ප් සමත් වූ අතර එහිදී ඡන්ද බල ප්‍රදේශ 538 න් 312 ක්ම ඔහු සතු වී තිබුණි. ට්‍රම්ප්ගේ මෙම අසාමාන්‍ය ජයග්‍රහණයට ලෝකයම සුභ පතන අතර කැනඩාවේ අගමැතිවරයා ප්රමුඛ සියලුම දේශපාලන ප්‍රධානීන්ද ඔහු වෙත සුභ පැතුම් පණිවිඩ යවා තිබුණි. එහිදී කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පවසා තිබුණේ, කැනඩාව සහ එක්සත් ජනපදය අතර මිත්‍රත්වය ලෝකයම විමසිල්ලෙන් බලා සිටින්නක් බවත් ජනාධිපති ට්‍රම්ප් හා එක්ව කටයුතු කරමින් කැනඩාවේ ජනතාවට වැඩි අවස්ථා, සෞභාග්‍යය හා ආරක්ෂාව සැලසීම සඳහා වැඩ කිරීමට කැප වී කටයුතු කරන බවත්ය.
ට්‍රම්ප්ගේ පසුගිය ධුර කාලයේදී ට්‍රම්ප් සහ ටෲඩෝ අතර වූ සබඳතාව කෙබඳු වූවක්ද යන්න ලෝකයට නොරහසකි. ඉඩ ලැබෙන සෑම මොහොතකම ටෲඩෝගේ මව, පියා පවා ඇදගනිමින් ප්‍රසිද්ධියේ අපහාසාත්මක කතා පැවසීමට ට්‍රම්ප් නොපසුබට විය. මෙවර මැතිවරණ ව්‍යාපාරය තුළද ට්‍රම්ප් තම කතාවලදී නිරතුරුව කැනඩාව කෙරෙහි ආදරය ප්‍රකාශ කරන අතර ටෲඩෝව ඉලක්ක කර ගනිමින් මුහුණු දෙකේ මිනිසා, දුර්වලයා, අන්ත වාමාංශික පිස්සා වැනි විවේචන සිදු කර තිබුණි. ට්‍රම්ප්ගේ පළමු නිල කාලයේදී කැනඩාව පිළිබඳව ට්‍රම්ප් ගත් ඇතැම් බරපතල තීරණවලට මේ දෙදෙනාගේ පරස්පර අමනාපකම්ද යම් තරමකට හේතු වන්නට ඇතත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත් කළ එය එසේ විය නොහැකි බව පැවසිය හැක.
කෙසේ වෙතත් එක්සත් ජනපදයට පත්වන 47 වන ජනාධිපතිවරයාගේ පරිපාලනය තුළ ඉදිරි වසර හතරේදී කැනඩාවට කෙබඳු ඉරණමක් අත්වනු ඇත්ද යන්න පිළිබඳව විවිධ කතාබහ මේ වන විට මතු වෙමින් පවතී. එහිදී මෙම ජයග්‍රහණය කැනඩාවේ ආර්ථික, සංක්‍රමණික, දේශපාලනික ආදි විවිධ අංශවලට බලපෑම් එල්ල කළ හැකි බවට බොහෝ පුරෝකථන මේ වන විට ඉදිරිපත් වී ඇත. ට්‍රම්ප්ගේ පසුගිය පාලන කාලය පිළිබඳව විශ්ලේෂනය කරන විට එය බොහෝ දුරට සිදුවිය හැක්කක් බව ඕනෑම අයෙකුට පෙනී යයි.
ට්‍රම්ප් එලෙස ජනාධිපති ලෙස පත් වන විට කැනඩාවේ ප්‍රධාන දේශපාලන ව්‍යුහය තුළ පවතින්නේද යහපත් තත්ත්වයක් නොවෙයි. 2025 වසර කැනඩාවේ මැතිවරණ වර්ෂය වීමත් සමග මේ අර්බුදකාරී තත්ත්වය තව තවත් තීව්ර වෙයි. කැනඩාවේ මන්දගාමී ආර්ථිකයත්, සීඝ්රයෙන් ඉහළ යන ජීවන වියදමත්, වෙළඳ කටයුතු විවිධාංගීකරණය කිරීමේ උත්සාහයයන්ට බාධා කරන චීනය සහ ඉන්දියාව සමග ඇති රාජ්‍ය තාන්ත්‍රික ආරවුලුත් අතරට අසල්වැසි රටට හිතුවක්කාරයෙකු පත් වීමත් ටෲඩෝට හිස එසවීමට බැරි වන අන්දමේ අභියෝග වී ඇත.
කැනඩා ආර්ථිකය
කැනේඩියානු වාණිජ මණ්ඩලයට අනුව, කැනඩාව සහ එක්සත් ජනපදය එකිනෙකාට සමීපතම ජාත්‍යන්තර හවුල්කරුවන් වන අතර දෙරට අතර සිදුවන දෛනික වෙළඳ ගනුදෙනු ප්‍රමාණය ඩොලර් බිලියන 3.6 ක් පමණ වේ. වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 500ක පමණ ඇමරිකාවේ වෙළඳ භාණ්ඩ කැනඩාව මිලට ගන්නා අතර කැනේඩියානු අපනයනවලින් ඩොලර් බිලියන 600 කට ආසන්න ප්‍රමාණයක් එක්සත් ජනපදයට යයි. කැනඩාවෙන් එක්සත් ජනපදයට යන වෙළඳ ද්‍රව්‍යය අතර බලශක්තිය, මෝටර් රථ, ඛනිජ, කිරි, මස් ආදිය ප්‍රධාන වේ.
නමුත් මෙවර ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවලින් එකක් වූයේ එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10 ක තීරු බද්දක් පැනවීමට කටයුතු කරන බවයි. නමුත් ජයග්රහනයෙන් පසු එය වෙනස් වී තීරු බද්ද සියයට 25 ක් දක්වා ඉහළ දමා ඇත. ට්‍රම්ප්ගේ මෙම බදු ප්‍රතිපත්තිය සමස්ත කලාපයෙහිම වෙළඳ කටයුතු අවුල් කරනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දේ. මෙසේ පුළුල් තීරුබදු පැනවීමක් සිදුවුවහොත් කැනඩාවේ නිෂ්පාදන අංශය විශාල අවදානමකට මුහුණ දෙන බව කැනේඩියානු අපනයනකරුවන්ගේ සංගමය පවසා සිටී. වෙළඳාම සහ බලශක්ති අංශය යනු ධවල මන්දිරයේ කවුරුන් සිටියත් එක්සත් ජනපදය සහ කැනඩාව අතර බැඳීම පවතින මූලය බව එම සංගමය පෙන්වා දේ.
ඒ සමගම 2026 දී සමාලෝචනය කිරීමට නියමිත එක්සත් ජනපද-මැක්සිකෝ -කැනඩා වෙළඳ ගිවිසුමෙන්ද (USMCA) කැනඩාවට ප්‍රාග්ධන ප්‍රවාහය අඩු විය හැකි අතර එයින් මෙරට දේශීය ආයෝජන දුර්වල කළ හැකි තත්ත්වයක් සිදුවීමට ඉඩ ඇත. කැනඩාවේ ආර්ථිකය දුර්වල වීමේ පළමු පියවර ට්‍රම්ප්ගේ පළමු නිල කාලය තුළ ආරම්භ වූ අතර, උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම (NAFTA) නැවත නැවතත් සාකච්ඡාවට ලක් කෙරුණු එම යුගයේ කැනඩාවේ අපනයනවලට විශාල බාධා කිරීම් සිදුවිය. 1994 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වන එක්සත් ජනපදය, මැක්සිකෝව සහ කැනඩාව අතර තිබූ NAFTA ගිවිසුම මෙම රටවල් ත්‍රිත්වයේ වෙළඳ කටයුතු සඳහා අතිශය ඵලදයී වූ පැරණි වෙළඳ ගිවිසුමකි. නමුත් 2017 දී එය වෙනස් කිරීම සඳහා පළමු සාකච්ඡා ට්‍රම්ප් විසින් ආරම්භ කළහ. එහිදී ඇතැම් භාණ්ඩ සඳහා විශාල තීරුබදු පැනවීමට කටයුතු කොට තිබීමත් සමග කැනඩා-එක්සත් ජනපද සබඳතා ඉතා පහත් මට්ටමකට ඇද වැටුණි. වරෙක, NAFTA ගිවිසුම ඉරා දමන බවටද ට්‍රම්ප් තර්ජනය කොට තිබුණු අතර අවසානයේදී මුල් උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම වෙනස් කරමින් නව ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙහිදී මුල් ගිවිසුමෙන් සියයට 95 ක්ම නව ගිවිසුමේ පැවති අතර වගන්තියෙන් වගන්තිය ගෙන සංසන්දනය කිරීමේදී එහි තිබූ විශාලම වෙනස වූයේ උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම (NAFTA ) යන්න එක්සත් ජනපද-මෙක්සිකෝ-කැනඩා ගිවිසුම (USMCA) ලෙස නම් කර තිබීමයි. නමුත් ඉහත සඳහන් කළ පරිදි ඇතැම් භාණ්ඩ සඳහා අධික තීරුබද්දක් මෙම නව ගිවිසුමට ඇතුළත් කොට තිබුණි. උතුරු ඇමරිකාව ලෙස පොදුවේ සඳහන් කර තිබූ ගිවිසුමේ නම වෙනස් කොට එක්සත් ජනපදය මුලට ගෙන අනික් රටවල්හි නම් පසුව සඳහන් කිරීම, ට්‍රම්ප්ගේ මමත්වය පෙන්වීමේ බොළඳ උත්සාහයයක් බව විශ්ලේෂකයින් පවසා තිබුණි. කෙසේ වෙතත් USMCA 2020 ජූලි මාසයේදී එනම් COVID-19 වසංගතයේ උච්චතම අවස්ථාවේදී බලාත්මක විය. එතැන් සිට ඇරඹි වසර තුන USMCA තුළදී කැනඩාවට දැඩි බලපෑම් ඇති කළ කාලයක් විය. මහජන සෞඛ්‍යය පවා අනතුරේ හෙලන සැපයුම් අංශයේ බාධා කිරීම්, වෙළඳපොළ තත්ත්ව විකෘති කළ හැකි අසාමාන්‍ය ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිචාර දැක්වීම් ආදිය බහුල විය.
මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන තුළ ඔහු පුන පුනා පැවසූ කරුණු අතර USMCA ද එකක් විය. ඔහු එහිදී පැවසූවේ මෙම වෙළඳ ගිවිසුම නැවත ලිවීමට අදහස් කර ඇති බවත් එයින් ඇමරිකානු නිෂ්පාදන සුරැකීමට සහ ඇමරිකානුවන්ගේ රැකියා අවස්ථා ආපසු ගෙන ඒමට කටයුතු කරන බවත්ය.
සංක්‍රමණික ගැටලු
ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී සංක්‍රමණිකයින් සඳහා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර විශේෂයෙන්ම ඔහුගේ මුස්ලිම් විරෝධී හැසිරීම එයට දැඩි උත්ප්‍රේරණයක් ලබා දුනි. 2017 දී මුස්ලිම් බහුතරයක් සිටින රටවල් කීපයක් ඇතුළු රටවල් 7 කට (ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව, යේමනය, උතුරු කොරියාව සහ වෙනිසියුලාව) එක්සත් ජනපදයට ඇතුළු වීම දින 90 කට තහනම් කරමින් සංචාරක තහනමක් පැනවුණි. ඒ සමගම සියලුම සිරියානු සරණාගතයින්ට රටට ඇතුළු වීම දින නියමයක් නොමැතිව අත්හිට වූ අතර වෙනත් කිසිදු සරණාගතයෙකුටද දින 120 ක් රට තුළට පැමිණීම තහනම් කරන ලදී. එසේම ඇමරිකාවේ නීත්‍යනුකූල නොවන ලෙස රැඳී සිටින්නන්ට එරටින් පිටවන ලෙස නියෝග කෙරුණු අතර ඔවුන්ව සමූහ වශයෙන් පිටුවහල් කිරීම ආරම්භ කෙරුණි. වාර්තා වී ඇති අන්දමට ට්‍රම්ප් ඔහුගේ පළමු ධුරයේ අවසන් වසරේදී සංක්‍රමණිකයන් 186,000ක් එක්සත් ජනපදයෙන් පිටුවහල් කොට ඇත. ඔහුගේ සම්පූර්ණ පාලන කාලය තුළ මිලියනයකට ආසන්න සංඛ්‍යාවකට පිට වීමට සිදුව ඇති බව සඳහන් වේ.
ට්‍රම්ප්ගේ මෙම තීරණයේ වඩාත් නරක ප්‍රතිඵලය අත්විඳීමට සිදුවූයේ අද්දර රටක් වූ කැනඩාවටයි. ලේඛනගත නොවන තරම් වූ සංක්‍රමණිකයන් සරණාගතභාවය පතා කැනඩාවට පළා ඒමට පටන් ගත් අතර එය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක්ද කැනඩාවට නොවුණි. එසේම කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඇමරිකාවෙන් පලා එන සරණාගතයින්ට තම දෑත දිගු කරමින් ‘හිංසා පීඩාවලින් පලා එන සරණාගතයින් ඔවුන්ගේ ඇදහිල්ල නොතකා කැනඩාවට සාදරයෙන් පිළිගනිමු’ යැයි පැවසීය. ඒ අනුව ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික නියෝග හමුවේ කැනඩාව විවෘත සංක්‍රමණික ප්රතිපත්තියක පිහිටා කටයුතු කිරීමට පටන් ගති. එකල එක්සත් ජනපදයේ වැට පැන මෙහි එන සරණාගතයින් ටෲඩෝ විසින් වඩාහිදුවා භාර ගැනීම ගැන අදහස් දැක්වූ දේශපාලන විචාරකයින් පවසා තිබුණේ ‘මූණ සමග තරහට නාසය කපාගත්තාක්’ වැනි දෙයක් කැනඩාව සිදුකරන බවයි.
කෙසේ නමුත් ඉදිරියේදී දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමෙන් පසු එක්සත් ජනපදයේ සිටින සියලුම ලේඛනගත නොවන සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට කටයුතු කරන බවට ට්‍රම්ප් සිය මැතිවරණ පොරොන්දුවලදී ප්‍රතිඥා දී ඇත. ට්‍රම්ප්ගේ සැලසුමට අනුව එසේ පිටුවහල් කෙරෙන සංක්‍රමණිකයන් ප්‍රමාණය මිලියන 10 ද ඉක්මවා යා හැක. එවැනි සමූහ පිටුවහල් තත්ත්වයක් මත සංක්‍රමණිකයන් මෙහි ගලා ඒමට පටන් ගතහොත් එයින් මුළු කැනේඩියානු සමාජ පද්ධතියටම දැඩි පීඩනයක් එල්ලවිය හැකි බවට මේ වන විට බිය පළ කෙරෙමින් පවතී. කැනඩාවට එන සංක්‍රමණිකයන් අඩු කිරීමේ පුළුල් වැඩ පිළිවෙළක් ගෙන යන මේ මොහොතේ එක්සත් ජනපද සරණාගතයින් ගලා ඒමක් සිදුවුවහොත්, එයින් කැනඩාවේ ආර්ථිකය ඍණාත්මක නොවේයැයි කාට පැවසිය හැකිද?
මේ ප්‍රධාන කරුණු ඇතුළු අනෙකුත් සියල්ල සලකා බැලීමේදී ට්‍රම්ප්ගේ මැතිවරණ ප්රචාරක පොරොන්දු, කැනඩාවට සැලකිය යුතු ආර්ථික කම්පනයක් ඇති කිරීමට හොඳහැටි ඉඩ ඇති බවත් ඉදිරි වසර කීපය තුළ එය දැවැන්ත පරිමාණයකින් සිදුවීමට ඉඩ ඇති බවත් ඇමරිකාවේ Macquarie හි ආර්ථික විද්‍යා ප්‍රධානී David Doyle පවසා ඇත.