2022 දෙසැම්බරයේ නිකුත් කර තිබූ එක්තරා You tube වීඩියෝවක් මෑතකදී අහම්බෙන් නෙත ගැටුණු විට ඒ ගැන ඇති වූ කුතුහලය නිසාම එම විනාඩි අටහමාරක් පමණ වූ වීඩියෝව දිගටම නැරඹීමි. අණුක ජීව විද්‍යාඥයෙකු, විද්‍යා සන්නිවේදකයකු සහ චිත්‍රපට නිර්මාණකරුවකු වන Hashem Al-Ghaili විසින් නිර්මාණය කර තිබූ මෙම වීඩියෝව මේ වන විට මිලියන 3 කට අධික පිරිසක් නරඹා ඇත. ලොව ප්‍රථම කෘත්‍රිම ගර්භාෂ පහසුකම වන EctoLife (EctoLife: The World’s First Artificial Womb Facility) පිළිබඳව දැක්වෙන වීඩියෝවක් එහි ශීර්ෂ පාඨයෙහි යොදා ඇත. එසේම මෙම කෘත්‍රිම ගර්භාෂ මගින් වසරකට ළදරුවන් 30,000 ක් නිර්මාණය කළ හැකි බවත් ලොව පුරා පර්යේෂකයන් වසර 50 කට වැඩි කාලයක් සිදුකළ පෙරළිකාර විද්‍යාත්මක පර්යේෂණයන් මෙම කෘත්‍රිම ගර්භාෂ නිපදවීමට පදනම්ව කරගෙන ඇති බවත් Al-Ghaili පවසා සිටී.
කර්මාන්ත ශාලා තුළ නිපදවූ බෝනික්කකු මිල දී ගැනීම අතිශයින් සාමාන්‍ය වූවත් ඒ ආකාරයෙන්ම විද්‍යාගාර කර්මාන්ත ශාලාවක් තුළ මිනිස් බබෙකු නිපදවේ යැයි ඔබ කවරදාකවත් සිතුවාද? නමුත් Matrix චිත්‍රපට මාලාවේ දර්ශන සිහිගන්වන පේළියට තබා ඇති pods තුළ වැඩෙන ළදරුවන් මානවයාගේ අනාගත පැවැත්ම පිළිබඳ යම් කුකුසක් සිතට නංවයි. වර්තමානයේදී EctoLife ශුද්ධ වූ ෆැන්ටසියක් වුවත් අනාගතයේදී දරුවන් නිර්මාණය කරගැනීම සම්බන්ධයෙන් සදාචාරාත්මක බුද්ධිය ගවේෂණයක් කිරීම සඳහා එය තරමක් රසවත් චින්තන අත්හදා බැලීමක් අප වෙත සපයයි. EctoLife සංකල්පය තවමත් යථාර්ථයක් වී නැතත් මෙම කෘත්‍රිම ගර්භාෂ පැමිණියහොත් ඊට ඇති ඇණවුම් සංඛ්‍යාව, විවිධ වූ සදාචාරාත්මක කරුණු සහ නෛතික ගැටලු පිළිබඳ බොහෝ කථිකාවන් මෙම වීඩියෝ පටයත් සමගම ලොව වටා ගොඩ නැගෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Eindhoven University of Technology හි නාරිවේද විශේෂඥ වෛද්‍ය Guid Oei පවසන්නේ වීඩියෝවේ ඇති තාක්ෂණය දැනට කළ නොහැක්කක් බව තහවුරු කර ඇති බවයි.
නමුත් කෙදිනක හෝ මෙම තාක්ෂණය සැබෑවක් වුවහොත් දෙමාපියන්ට කැමති ආකාරයේ දරුවෙකු නිර්මාණය කර ගැනීමට මාර්ගය පෑදෙනු ඇත. EctoLife කෘතිම ගර්භාෂය තුළ නිපදවන ළදරුවාගේ දෙමාපියන්ගේ අභිරුචිය මත ‘ප්‍රභූ පැකේජයක්’ මගින් දරුවාගේ බුද්ධි මට්ටම, උස, හිසකෙස්, ඇස්වල වර්ණය, සමේ වර්ණය, ශාරීරික ශක්තිය ආදිය තෝරා ගැනීමට ඉඩ සැලසෙනු ඇත. ප්‍රභූ පැකේජය මගින් දෙමාපියන්ගෙන් පැවතෙන ඕනෑම ප්‍රවේණිගත ජානමය රෝගයක් වුවත් නිවැරදි කිරීමට ඉඩ සැලසේ.
ඊට අමතරව CRISPR-Cas 9 ජාන සංස්කරණ උපාංගය මගින් දරුවාගේ ඕනෑම ගති ලක්ෂණයක් සංස්කරණය කිරීමට හැකියාව ඇත. මෙමගින් ජාන 300 කට අධික ප්‍රමාණයක් සහිත තෝරාගත හැකි ‘ප්‍රවේණිගත මෙනුවක්’ (genetic menu) මගින් ළමා අභිරුචිකරණයන් (child customization) කිරීමේ හැකියාව පවතී. එසේම IVF තාක්ෂණය මගින් කලලයක් තුළ ඇති අසාමාන්‍යතා හඳුනාගැනීමේ සහ අනවශ්‍ය දෑ ඉවත් කිරීමේ හැකියාව ඉතාමත් පහසුවෙන් මෙහිදී භාවිත කළ හැක. මෙම IVF තාක්ෂණය වර්තමානයේදීද භාවිත කරන්නකි. එහිදී මවු කුසක ඇති කලලයේ ඇති විවිධ සංකුලතා හෝ ජාන හඳුනාගෙන ඒවා නැවත සකස් කිරීම සිදුකෙරේ.
කෘතිම ගර්භාෂ පහසුකම යනු
රසායනාගාර තුළ විනිවිද පෙනෙන ‘වර්ධක ඒකක’ – growth pods මගින් ළදරුවන් නිපදවීම EctoLife – කෘතිම ගර්භාෂය ගැන සරලම අදහසයි. කෘතිම ගර්භාෂවල පැවැත්ම රඳා තබාගැනීමට පුනර්ජනනීය (renewable energy) යොදාගැනීමට අදහස් කර ඇති අතර විද්‍යාගාර 75ක මෙම growth pods තැබීමට සැලසුම් කර ඇති බව Al-Ghaili පවසයි. ඒ සෑම ස්ථානයකම සැබෑ මවකගේ ගර්භාෂ පරිසරයම සහිත කෘතිම ගර්භාෂ නැතිනම් වර්ධක ඒකක 400 ක් බැගින් පවතිනු ඇතැයි ඔහු පවසයි.විද්‍යාගාර කර්මාන්ත ශාලා තුළ නිපදවෙන තම දරුවාගේ වර්ධනය නිරීක්ෂණය කිරීමට growth pods මත ඇති තිරයක් හරහා දෙමාපියන්ට ඉඩ සලසා ඇත. එසේම මෙම දත්ත දුරකථන App මගිනුත් නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා ඇත. ඊට අමතරව කෘතිම බුද්ධි (AI – artificial-intelligence) ඔස්සේ පදනම් කරගත් පද්ධතියකින් මගින් දරුවාගේ භෞතික ලක්ෂණ නිරීක්ෂණය කිරීමත් ඕනෑම ජානමය අසාමාන්‍යතාවක් වාර්තා කිරීමත් සිදුකරයි.
දරු ප්‍රසූති කාලය සම්පූර්ණ කළ පසු ‘බොත්තමක් එබීම’ පමණකින් ළදරුවා growth pod එකෙන් ඉවත් කොට දෙමාපියන්ට ලබා දීම සිදුකෙරෙනු ඇත. අනාගතයේදී EctoLife ආරක්ෂිත, වේදනා රහිත දරු ප්‍රසූතියක් සඳහා විකල්පයක් සපයනු ඇත. නවීන ලෝකයේ සෙසු කාර්යයන් සේ දරු උපතත් බොත්තමක් ඔබා කරගැනීමට කැමති අයට මේ ඒ සඳහා අවස්ථාව විය හැක.
මානව සම්බන්ධතා පිළිබඳව ලෝකයේ පවතින ආචාරධර්ම සීමාවන් ඉවත් කළහොත් වසර 10 ක් හෝ ඊට ආසන්න කාලයකදී කෘත්‍රිම ගර්භාෂ පහසුකම යථාර්ථයක් කරගත හැකි බව Hashem Al-Ghaili පවසයි. නුදුරු අනාගතයේදී තාක්ෂණය භාවිත කර දරුවන් නිපදවීමට මිනිසුන් වෙතින්ම ඉල්ලීම් එනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. මෙම සංකල්පයේ සඳහන් සෑම අංගයක්ම සියයට 100 ක් විද්‍යාව පදනම් කරගත් ඒවා බවත් විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් විසින් දැනටමත් ඒවා සාක්ෂාත් කරගෙන ඇති බවත් ඔහු පවසයි. ඉතිරිව ඇති එකම දෙය වන්නේ මේ සියලුම අංග එක් උපාංගයකට ඒකාබද්ධ කර මූලාකෘතියක් ගොඩ නැගීම පමණක් බව Al-Ghaili වැඩිදුරටත් සඳහන් කරයි.
ලෝකයේ මේ වන විට පවතින සදාචාරාත්මක මාර්ගෝපදේශ නීති රාමුවලට අනුව කළලයක් පිළිබඳ පර්යේෂණ කිරීමට අවසර ඇත්තේ දින 14 ක් දක්වා පමණි. දින 14 කට පසු එම කළල විනාශ කළ යුතුව ඇත. විද්‍යාව කෙතරම් දියුණු වුවත් සම්පූර්ණයෙන්ම ගර්භාෂයෙන් පිටත කලලයක් ගැබ් ගැන්වීම (complete ectogenesis) නුදුරේදී සැබෑ කරගත හැක්කක් නොවන බව EctoLife වීඩියෝවට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකුගේ අදහසයි. නමුත් මේ වන විට partial ectogenesis (අර්ධ වශයෙන් ගර්භාෂයෙන් පිටත කලලයක් පිළිසිඳවීම) හි යම් ප්‍රගතියක් ලබා ගැනීමට Children’s Hospital of Philadelphia පර්යේෂකයින් සමත් වී ඇත. 2017 වසරේදී සිදුකළ මෙම පර්යේෂණයේදී සති කිහිපයක් සඳහා කෘත්‍රිම ගර්භාෂ වැනි biobags තුළ නොමේරු බැටළු පැටවුන් සාර්ථක ගැබ් ගන්වා ඇත. මෙම partial ectogenesis උත්සාහය නොමේරූ මිනිස් ළදරුවන් සඳහාද යොදාගැනීමට විශේෂඥයින්ගේ අවධානය යොමු වී ඇතත් පූර්ණ කෘත්‍රිම ගර්භණීභාවය පිළිබඳ කිසිඳු ඉඟියක් එයින් දී නොමැත.
වීඩියෝවේ සඳහන් ආකාරයට වසර ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් කළ EctoLife දරුගැබ අනිකුත් බාහිර බාධක නොමැති වුවහොත් ඉදිරි වසර 10 – 15 තුළ එළිදැක්විය හැකි බව Al-Ghaili ගේ අදහසයි. එය මානව සංහතියේ වෙනස්ම මානයක් පෙන්වමින් ගැබ් දරන ගැහැනියක් නොමැතිව දරු ප්‍රසූතියක් නොමැතිව දරුවන් ලැබීමට හොඳ විකල්පයක් විය හැක. ජපානය, බල්ගේරියාව, දකුණු කොරියාව වැනි ජනගහන වර්ධන වේගය අඩු වීමේ ගැටලුව සහිත රටවලට මෙම කෘතිම ගර්භාෂ පහසුකම වඩාත් වටිනා මෙවලමක් වනු ඇත. එසේම රෝගාබාධ නිසා ගර්භාෂය ඉවත් කළ කාන්තාවන්ටත්, වඳ භාවය නිසා දරුවන් අහිමි දෙමාපියන්ටත් ජීව විද්‍යාත්මකව සෑදුණු දරුවෙකු ලබා ගැනීමට අවස්ථාව මෙයින් සැලසේ.
මේ පිළිබඳව සුබවාදීව බලන ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි ප්‍රසව වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය Andrew Shennan ට අනුව මෙම ක්‍රියාව, යම් යම් සංකුලතා නිසා ගර්භාෂ කාලය සම්පූර්ණ නොකරන දරුවෙකු ඉක්මනින් එළියට ගෙන ඔවුන්ගේ ඉන්ද්‍රියන් වැඩෙන තුරු ඉන්කියුබේටරයක් තුළ හොඳින් රැක බලා ගන්නවා වැනි කාර්යයකි.
කෙසේ වෙතත් මෙම EctoLife වීඩියෝවේ දැක්වෙන තාක්ෂණය තවමත් මිහිපිට නොමැති බව Al-Ghaili විසින්ම පැහැදිලි කර ඇති අතර වීඩියෝව අවසානයට ආසන්නව එය ‘concept’ (සංකල්පයක්) ලෙස සලකුණු කොට ඇත.
මෙම වීඩියෝව නිර්මාණය කිරීම පිළිබඳව අදහස් දක්වමින් Al-Ghaili ප්‍රකාශ කොට ඇත්තේ නැගී එන තාක්ෂණයක් පිළිබඳ සාකච්ඡා අවුලුවාලීමට සහ ectogenesis ක්ෂේත්රයේ විද්‍යාත්මක ප්‍රගතිය ඉස්මතු කිරීමට එය සිදුකළ බවයි. කෙසේ වෙතත් කෘත්‍රිම ගර්භාෂ තාක්ෂණයේ අනාගත සංවර්ධනය සහ නියාමනයන් හැඩගස්වා ගත හැකි සංවාද වීඩියෝව මගින් ඇති කර තිබෙන නිසා තමන් අරමුණු කළ දේ යම් තරමකට වීඩියෝවෙන් සිදුවී තිබෙන බව ඔහු පවසයි.
Hashem Al-Ghaili මෙම වීඩියෝවට පසු තවත් මේ ආකාරයේම ආන්දෝලනාත්මක යූ ටියුබ් වීඩියෝවක් 2024 මැයි මාසයේදී එළිදැක්වූ අතර එය නම් කර තිබුණේ Head Transplant Machine – BrainBridge ලෙසයි. 2022 දී අල්-ගයිලි නිපදවූ EctoLife වීඩියෝවේ සංවාදය මිනිසුන්ට යම් තරමකට අමතකව යමින් තිබියදී එළිදුටු ඔහුගේ අළුත් වීඩියෝවත් සමග දැන් නැවතත් කෘත්‍රිම ගර්භාෂ කතාව කරළියට පැමින ඇත.
මෙවැනි සංකල්ප ලෝකයේ රහසිගත විද්‍යාගාර තුළ යථාර්ථයක් වෙමින් නොපවතී යැයි අපට සිතිය නොහැක. එසේ වුවහොත් අනාගතයේ කුමක් විය හැකිද? මොළය, ශරීර ශක්තිය, නිරෝගිභාවය ආදි සියල්ල පරිපූර්ණව කෘත්‍රිමව බිහිවෙන දරුවන් මිනිසුන් වූ පසු ඔවුනට මෙම ලෝකය සෑහේවිද? යන මේ සියල්ල තවත් කාලයක් ගැටලු ආකාරයෙන් පවතීවි. මෙවැනි සංකල්පයක් ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු අතර සදාචාරාත්මක වගකීමකින් එයට ප්‍රවේශ විය යුතුව ඇත.