කාලාන්තරයක සිට සංක්‍රමණිකයන් දැඩිව වැළඳගත් කැනඩාව, දැන් දැන් තම දෑත් ලිහිල් කරමින් සංක්‍රමණික ආගමන ක්‍රමය වෙනස් කරමින්  පෙරළියක් ඇති කිරීමට  කටයුතු කරන බව පෙනී යයි. ඉවක් බවක් නොමැතිව විවිධ ආකාරවලින් මෙරටට පැමිණෙන සංක්‍රමණික ප්‍රවාහය පිළිබඳව බහුතර කැනේඩියානුවන් දැඩි අප්‍රසාදය පළ කරන අතර Environics Institute විසින් මෑතක සිදුකළ සමීක්ෂණයකට අනුව හෙළි වී ඇත්තේ කැනේඩියානුවන් 10 දෙනෙකුගෙන් හයදෙනෙකුම ‘අධික සංක්‍රමණික’ ගලනය ගැන විරෝධය පළ කර ඇති බවයි. 1998 වසරෙන් පසු එනම් දශක දෙකකට පමණ පසු මෙතරම් විශාල සංක්‍රමණික විරෝධයක් එල්ලවන පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ. ‘කැනඩාව සංක්‍රමණ පාලනය අහිමි වූ රටක් ලෙස’ කටයුතු කරන්නේ කෙසේදැයි යන විවේචනය, ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ කැනේඩියානු රජය වර්තමානයේ මුහුණ දෙන ගැටලු අතර ප්‍රධාන වී ඇත. එයට පිළියමක් ලෙස ජාත්‍යන්තර ශිෂ්‍යයන් බඳවා ගැනීම් සීමා කිරීමටත් විදේශීය ශ්‍රම භාවිතය සීමා කිරීමටත් ආගමන, සරණාගත හා පුරවැසිභාව කටයුතු පිළිබඳ කැනේඩියානු දෙපාර්තමේන්තුව (IRCC) පියවර ගනිමින් සිටී.

This image has an empty alt attribute; its file name is immigrat-4-1-838x1024.jpgඒ අනුව ඉදිරි කාලයේදී කැනඩාවට ඇතුළත් කරගන්නා ස්ථිර පදිංචිකරුවන් (permanent resident) සහ තාවකාලික පදිංචිකරුවන් (temporary resident) සඳහා නව ඉලක්ක සැකසෙනු ඇත. වසර තුනක් පුරා විහිදෙන වැඩසටහනක් ලෙස සැකසෙන මෙයින් කැනඩාවේ සංක්‍රමණික කටයුතුවලට විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙරට සංක්‍රමණික ප්‍රතිපත්ති සමස්ත සමාජ පද්ධතියට මෙන්ම බදුකරණය, නිවාස මිල, ශ්‍රම වෙළඳපොළ, සෞඛ්‍ය සේවා ඇතුළු යටිතල පහසුකම් ආදි සියලුම අංශයන්හි වර්ධනය කෙරෙහි බලපානු ලබයි. විශේෂයෙන්ම කැනේඩියානු පුරවැසි දරුවන් රැසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වී නිසි රැකියා නොමැතිව සිටීම අද රට තුළ විශාල ගැටලුවක් වී ඇත.

මෙහිදී ස්ථිර පදිංචිකරුවන් පැමිණීමටත් වඩා කැනඩාව තුළට පැමිණෙන තාවකාලික නේවාසිකයන් සංඛ්‍යාව ඉහළ යෑම දැඩි අර්බුදයක් බවට පත්වී ඇත. 2023 දී මිලියන 2.5 ක් ලෙස සඳහන් වූ තාවකාලික නේවාසිකයන් සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් සියයට 6.5 ක් වූ අතර ඉදිරි වසර තුන තුළ එය සියයට 5 ක් දක්වා අඩු කිරීමේ ඉලක්කය සහිතව ආගමන නීති සම්පාදනය කරන බව ආගමන පුරවැසිභාව සහ සරණාගත කටයුතු පිළිබඳ අමාත්‍ය Marc Miller සැප්තැම්බර් 18 වැනි දින නිවේදනය කොට තිබුණි. Temporary resident program රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඉතා වැදගත් සාධකයක් වුවත් මෙම ක්‍රියාවලියේ ඇතැම් අංග අධිකව ලබාදීමෙන් එය නොසිතූ ආකාරයට වර්ධනය වී ඇතැයි ඔහු පවසයි. මේ පිළිබඳව කාලයක් තිස්සේ අවධානය යොමු නොකර පාලනයක් නොකිරීම නිසා මෙම තත්ත්වයට පත් වී ඇති බව ඔහුගේ අදහසයි. විශේෂයෙන්ම මෙරට තාවකාලික පදිංචිකරුවන් අතරින් සියයට 42 ක්ම ජාත්‍යන්තර සිසුන් වීම මෙම ගැටලුව තව තවත් සංකීර්ණ කරවයි.

ඒ අනුව 2025 වසරේ සිට ජාත්‍යන්තර සිසුන් සඳහා ලබාදෙන අධ්‍යයන බලපත්‍ර සංඛ්‍යාව සීමා කිරීමටත් තාවකාලික නේවාසිකයන් සඳහා වෘත්තීය බලපත්‍ර ලබාදීම සීමා කිරීමටත් කර්මාන්ත සඳහා තාවකාලික විදේශ කම්කරුවන් රැගෙන ඒමේදී විශේෂිත සේවා හා කර්මාන්ත අංශ කිහිපයකට හැර සෙසු වෘත්තීන් සඳහා සීමා පැනවීමටත් කටයුතු කෙරෙනු ඇත.

වැඩිදුරටත් මේ පියවර පිළිබඳව මාර්ක් මිලර් පවසන්නේ, ‘සත්‍යය නම් කැනඩාවට පැමිණීමට කැමති සැමට එය කළ නොහැකිවාක් මෙන්ම කැනඩාවේ රැඳී සිටීමට කැමති සැමටත් එය කළ නොහැක්කක්’ බවයි. කැනඩාවේ ආගමන ක්‍රමය සමබරව පවත්වා ගැනීමට සහ කළමනාකරණය කර ගනිමින් අවශ්‍ය ඉලක්ක සාර්ථකව සපුරා ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍යවරයා පවසයි. ඒ අනුව ඉදිරි වසර තුන තුළ පශ්චාත් උපාධි රැකියා බලපත්‍ර – PGWP 175,000 ක් පමණ අඩුවෙන් නිකුත් කිරීමට රජය අපේක්ෂා කරයි.

අන්තර්ජාතික සිසුන් සඳහා නව නීති

කැනඩාවේ අධ්‍යාපනය ලැබීම සඳහා විදේශවලින් පැමිණෙන සිසුන් සඳහා අධ්‍යයන බලපත්‍ර (study permits) 485,000 ක් පසුගිය වසරේදී (2024) නිකුත් කොට තිබුණු අතර 2025 වසර සඳහා අධ්‍යයන බලපත්‍ර 437,000 ක් නිකුත් කිරීමට IRCC තීරණය කොට ඇත. මෙය 2024 හා සංසන්දනය කිරීමේදී සියයට 10 ක අඩු වීමක් පෙන්වන අතර 2026 වසරේදී මෙම බඳවා ගැනීමේ සීමාව තවදුරටත් අඩු කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ. ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ ජාත්‍යයන්තර සිසුන් සඳහා අධ්‍යයන බලපත්‍ර නිකුත් කිරීම වසරකට 300,000 ක් දක්වා අඩු කිරීමට IRCC අපේක්ෂා කරයි.

2024 වසර ආරම්භයේ පටන් ජාත්‍යන්තර සිසුන් සඳහා විවිධ නව නීති හඳුන්වා දී ක්‍රියාත්මක කෙරුණු අතර ශිෂ්‍ය වීසා ලබාගැනීමේදී ඉදිරිපත් කළ යුතු ජීවන වියදම් මූල්‍ය අවශ්‍යතාව (cost of living) දෙගුණ කිරීම එහිදී ප්‍රධාන විය. ඒ අනුව 2000 දශකයේ මුල් භාගයේ සිට ඩොලර් 10,000 ක් ලෙස පැවති මූල්‍ය වියදම් පෙන්වීමේ අවශ්‍යතාව දෙගුණයකින් වැඩි කරමින් එනම් ඩොලර් 20,635 ක් දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබුණි. ඒ අනුව කැනඩාවේ අධ්‍යාපනය ලැබීමට කැමති තනි අයදුම්කරුවෙකුට පළමු වසර අධ්‍යයන වියදම් සහ ගමන් වියදම්වලට අමතරව ඩොලර් 20,635 ක් පෙන්වීමට අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසන්නේ, රටෙහි වත්මන් ආර්ථික හා සාමජයීය තත්ත්වයන් පිළිබඳව සලකා බලා ජාත්‍යන්තර සිසුන්ට කැනඩාවේ ජීවත් වීමට සහ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය සම්පත් සමග පැමිණීමට දිරිමත් කිරීමක් වශයෙන් මෙම පියවර ගත් බවයි. එහිදී ජාත්‍යන්තර සිසුන් සඳහා නව යාවත්කාලීන කිරීම් කිහිපයක් නිවේදනය කර තිබුණි.

  • 2022 නොවැම්බරයේ සිට ෆෙඩරල් රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ සතියකට පැය 40 ක රැකියා කාලය 2024 අප්‍රේල් 30 වන දින සිට පැය 20 කට සීමා කිරීම.
  • කල් ඉකුත් වූ හෝ ඉක්මනින් අවසන් වීමට නියමිත රැකියා බලපත්‍ර ඇති ජාත්‍යන්තර උපාධිධාරීන්ට මාස 18 ක බලපත්‍ර දිගුවක් සඳහා අයදුම් කිරීමට අවසර දීමේ තාවකාලික ප්‍රතිපත්තිය රජය විසින් අවසන් කර ඇත.
  • කැනඩාවේ අධ්‍යාපනය ලබන සියලුම සිසුන් අදාළ පළාතෙහි අධ්‍යාපනය ලැබීමට අවසර ලබාගත් බව සඳහන් පළාත් සහතික කිරීමේ ලිපිය Provincial Attestation Letter (PAL), IRCC වෙත ඉදිරිපත් කිරීම 2024 වසර මුලදී හඳුන්වා දී තිබුණි. මින් පෙර එය අවශ්‍ය වූයේ college සිසුන් සඳහා පමණක් වුවත් මෙවර master’s සහ doctoral සිසුන් සඳහාද එය ඉදිරිපත් කිරීම අනිවාර්ය කොට ඇත.

PGWP සහ OSWP නව නීති

ජාත්‍යන්තර සිසුන් මෙරටට ගෙන්වා ගැනීමේදී ඔවුන් වෙත වසර තුනක් දක්වා වලංගු (මෙම කාලය එක් එක් පුද්ගලයන්ගේ කැනේඩියානු අධ්‍යාපන වැඩ සටහනේ කාල සීමාව මත රඳා පවතී) පශ්චාත් උපාධි රැකියා බලපත්‍ර – Post graduation work permit (PGWP) පිරිනමන අතර මෙම බලපත්‍ර ලබා දීම සම්බන්ධව සංශෝධනයන් කිහිපයක් මෙවර සිදුකර ඇත. එසේම කලත්‍ර (spousal) රැකියා බලපත්‍ර – Open Spousal Work Permit (OSWP) ලබාගැනීමේදී කාලය සහ සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබඳ නව සීමාද ප්‍රකාශ කොට ඇත. මේ නව නීති 2024 නොවැම්බර් 01 දා සිට බලාත්මක් කෙරේ.

එහිදී bachelor’s, master’s හා PhD උපාධිධාරීන් කිසිදු බාධාවකින් තොරව වසර තුනක් දක්වා PGWP සඳහා සුදුසුකම් ලබන අතර මෙම සංශෝධනයන් colleges සහ උපාධි නොවන වැඩටහන් සම්පූර්ණ කරන සිසුන් සඳහා තීරණාත්මක වේ. ඒ අනුව කැනඩාවේ colleges හෝ උපාධි නොවන පාඨමාලා මගින් සාමාර්ථ්‍යයන් ලබා ගන්නා සිසුන්, මෙතැන් පටන් PGWP ඉල්ලුම් කිරීමේදී ඔවුන් හදාරන පාඨමාලාව ඊට බලපානු ලබයි. ඔවුන් තම පාඨමාලාව කැනඩාවේ සේවා වෙළඳපොළේ ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයකට සම්බන්ධිත විෂය ක්ෂේත්‍රයකින් සම්පූර්ණ කර තිබීම අනිවාර්ය සුදුසුකමක් ලෙස සැලකේ. එසේත් නොමැති නම් ඔවුන් විසින් රැකියා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය අමතර ** අධ්‍යයන ක්ෂේත්‍ර අවශ්‍යතා සපුරාලිය යුතුයි. IRCC විසින් මේ සඳහා පුළුල් ක්ෂේත්‍ර පහක් ආවරණය වන පරිදි සුදුසුකම් ලෙස සැලකෙන වැඩසටහන් 966 ක් ලැයිස්තුගත කොට ඇත. එම විෂය ක්ෂේත්‍ර මෙසේය.

  • Agriculture and agri-food
  • Healthcare
  • Science, technology, engineering, and mathematics(STEM)
  • Skilled trades
  • Transportation **

PGWP සඳහා ඉහත ක්ෂේත්‍රවලට ඇතුළත් කර ඇති රැකියා අවස්ථා වැඩසටහන් උපදේශන වැඩසටහන් වර්ගීකරණය – Classification of Instructional Programs (CIP) භාවිතයෙන් කණ්ඩායම්ගත කර ලැයිස්ගත කර ඇත. ඔබට මෙම ඉහත එක් එක් අධ්‍යයන ක්ෂේත්‍ර සඳහා PGWP සඳහා සුදුසුකම් ලබන CIP කේතයන් දැනගැනීමට අවශ්‍ය නම් පහත වෙබ් අඩවියට පිවිස එය ලබාගත හැක. මෙම පහත සඳහන් CIP කේතයන් 2021 වසරේ යාවත්කාලීන කළ ඒවා වන අතර වර්තමානයේ PGWP සඳහා ** ඉහත විෂය ක්ෂේත්‍රයන් පමණක් අදාළ වේ. https://www23.statcan.gc.ca/imdb/p3VD.pl?Function=getVD&TVD=1420413
කැනඩාවේ රැකියාවක් ලබාගෙන මෙහි ස්ථිර පදිංචිය ලබා ගැනීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවකට මෙම සීමාසහිත විෂය ක්ෂේත්‍රයන් බලපානු ඇත.
එසේම මින් ඉදියට සියලුම PGWP අයදුම්කරුවන් භාෂා ප්‍රවීණතාව (ඉංග්‍රිසි හෝ ප්‍රංශ භාෂා) සහ උපාධි නිර්ණායක පිළිබඳ IRCC අනුමත සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත. විශ්ව විද්‍යාල උපාධිධාරීන් අවම වශයෙන් කැනේඩියානු භාෂා මිණුම් ලකුණු (CLB) 7 ක් හෝ අනෙකුත් විද්‍යාල (college) උපාධිධාරීන් අවම වශයෙන් CLB 5 ක ලකුණු සීමාවක් පෙන්විය යුතු ලෙස මෙය සංශෝධනය කර ඇත.
IRCC විසින් සිසුන්ගේ කලත්‍රයන් සදහා වන විවෘත රැකියා බලපත්‍ර (SOWP) සඳහා යම් සීමාවන් කිහිපයක් දක්වා ඇති අතර ඒ අනුව master’s හෝ doctoral උපාධි සිසුන්ගේ කලත්‍රයන්ට පමණක් මෙරට විවෘත රැකියා බලපත්‍ර සඳහා අයදුම් කළ හැකි වේ. නමුත් එම සිසුන්ගේ master’s හෝ doctoral අධ්‍යයන පාඨමාලා කාලය අවම වශයෙන් මාස 16 ක් හෝ පවතී නම් පමණක් කලත්‍රයන්ට එසේ  SOWP සඳහා අයදුම් කිරීමේ අවස්ථාව සැලසේ.
මෙම නව SOWP සංශෝධන ජාත්‍යන්තර සිසුන්ගේ කලත්‍රයන්ට පමණක් සීමා නොවන අතර විදේශීය ශ්‍රමිකයන්ගේ කලත්‍රයන්ටද මෙය බලපැවැත්වේ. ඒ අනුව ඉහළ මට්ටමේ විධායක, විද්‍යාඥ, ඉංජිනේරු, නීතිඥ, මහාචාර්ය, සෞඛ්‍ය සහ කාර්මික ශිල්පීන් වැනි කුසලතා සහිත විදේශීය ශ්‍රමිකයන්ගේ කලත්‍රයන්ට පමණක් මින්පසු විවෘත රැකියා බලපත්‍ර අයදුම් කළ හැක.
කැනඩාව තුළ වර්ධනය වන තාවකාලික පදිංචිකරුවන් සංඛ්‍යාව පාලනය කිරීමට IRCC දරන විශාල උත්සාහයේ කොටසක් ලෙස මෙම පියවර දැක්වේ. මෙමගින් ඉදිරි වසර 3 තුළ SOWP සඳහා අයදුම්කරන්නන් 100,000 ක් පමණ අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

Share this Post