අපේ රටේ කලාකරුවාගේ අනාගතය ශෝචනීයයි
– ප්‍රවීණ රංගන ශිල්පී, විජය නන්දසිරි
අඩසිය වසරක් සපිරීමට තවත් එක් වසරක් පමණක් ඉතිරිව ඇති ඔහුගේ ප්‍රතිභාපූර්ණ කලා දිවියේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙරට ප්‍රේක්ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කෙරුමට සමත් වූ සුවිශේෂී කලා ශිල්පියකු ලෙස ඔහු හඳුන්වා දීම අවිවාදිතය. වේදිකාවෙන් ඇරඹුණු ඒ රංගන පෙළහර, අනතුරුව සිනමාවටත්, පුංචි තිරයටත් රැගෙන එමින්, දැල්වූ ආලෝකය සදා නොනිමෙන්නකි. හාස්‍ය රංග කලාවේ ප්රමුඛ සහ දක්ෂ රංගන ශිල්පියකු ලෙසින්ද මෙරට ප්‍රේක්ෂක මතකයන් අතර විරාජමාන මේ ප්‍රවීණ සහ ජනප්‍රිය චරිතාංග රංගන ශිල්පියා, වෙනකෙකු නොව විජය නන්දසිරි ය. ‘දිවයින සිනමා කලා’ මේ ඉඩ හසර වෙන් කරනුයේ ඔහුගේ කලා දිවියේ මතක මාවත වෙත ඔබ කැඳවාගෙන යැමේ අරමුණෙනි. මතු දිග හැරෙන්නේ ඔහු හා අප අතර ගලා ගිය ඒ කතා බහේ සංක්ෂිප්තයයි.
වේදිකාවෙන් ඇරඹුණු ඔබේ රංගන දිවියේ මතක අතීතයට යමින් අපේ කතා බහ ආරම්භ කළොත්….
1966 පැවැති රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කළ ‘විදුරු දිව’ මගේ රංගන දිවියේ ආරම්භය සනිටුහන් කළා. අමරදාස ජයතුංග මහතා තමයි ‘විදුරු දිව’ අධ්‍යක්ෂණය කළේ. ඉන් පසු ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධන සූරීන්ගේ ‘බක්මහ අකුණු’ වේදිකා නාටකයට රංගන දායකත්වය සැපයුවා. අනතුරුව ප්‍රවීණ කලා ශිල්පී සතිස්චJද්‍ර එදිරිසිංහයන්ගේ ‘තහංචි’ සහ ‘බක තපස්’ වේදිකා නාට්‍ය නිර්මාණත්, ප්‍රේම රංජිත් තිලකරත්නගේ ‘කෝන්තරය’ ‘වහලක් නැති ගෙයක්’ ‘සැරදේ සිනා’, 1971 රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කළ ආනන්ද එස්. විඡේසිරිගේ ‘බැද්දෙ ගෝරනාඩුව’ චන්ද්‍රසේන දසනායකගේ ‘රංකඳ’, දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘ජසයා සහ ලෙන්චිනා’ හීදීත් මා රංග ගත වුණා. මේ අතුරින් ‘රංකඳ’ වේදිකා නාටකයට ජීවය මුසු කිරීම වෙනුවෙන් විශාල ජන ප්‍රසාදයක් හිමිකොට ගත්තා.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ කෘතහස්ත වේදිකා නාට්‍ය නිර්මාණයක් වූ ‘මනමේ’ හී මනමේ කුමරාට පුරා වසර 27ක් ජීවය මුසු කළේ ඔබ. ඒ සුවිශේෂී මතකය මඟහැර මේ කතා බහ කළ නොහැකියි නේද..?
සත්තකින්ම, එය මගේ රංගන දිවියට විශාල ආලෝකයක් එකතු කළ අවස්ථාවක් ලෙස මගේ මතකයෙන් කිසිදා නොමියෙන්නක්. ඒ වගේම ‘සිංහබාහු’, ‘මහාසාර’, ලලිතා සරච්චන්ද්‍ර මහත්මියගේ ‘කපුවා කපෝති, ‘රත්නාවලී’ ත් මට විශේෂයි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, සයිමන් නවගත්තේගම, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආර්. ආර්. සමරකෝන්, ධර්මසිරි බණ්ඩාරනායක යන කෘතහස්ත නාට්‍යවේදීන්ගේ ඇසුරේ ඔවුන්ගේ නිර්මාණ වෙනුවෙන් දායක වීමට ලැබීම මා ලැබූ සැබෑ වාසනාවක් කියායි සිතන්නේ. ඒ සෑම නිර්මාණයක් හරහා ම වේදිකා නාට්‍ය ලෝලීන්ගේ මනදොල සපුපරාලිය හැකි රංගනයන් ගෙන හැර දැක්වීමට මා සමත් වුණා. මේ ලැබෙන සහ ලැබෙමින් පවතින ප්‍රතිචාර ඊට නිදසුන් පමණයි. මගේ වේදිකා නාට්‍ය දිවිය තුළදී විවිධ සාම්ප්‍රදායික ශෛලී, නාඩගම් ඇතුළු චරිතයනට මැදිව නළුවකුට ලැබිය හැකි උපරිම තෘප්තිය ලැබුවා. මා රඟපෑ සමහර නාටක දර්ශන වාර 1000 සිට 3000 ක් දක්වා ඇදී ගියා. රඟ පෑ වේදිකා නාට්‍ය ප්‍රමාණය 60කට වැඩියි. එදා සිට අද දක්වාම වේදිකාවේ සිටි නිසා පසුගිය කාලයේ පුංචි විරාමයක් ගත්තා. නව නිර්මාණ වෙනුවෙන් යොමුවීමට කාලය සොයා ගැනීමට බැරි වුණේ, ඉහතින් සඳහන් කළ බොහෝ නාට්‍ය නිර්මාණ තවමත් වේදිකාවේ දිගහැරෙන නිසයි.
ලබන වසරේ අගෝස්තු මාසයට ඔබේ කලා දිවියට අඩසියවසයි. ඒ වෙනුවෙන් විශේෂ දෙයක් කළ යුතු යෑයි සිතනවාද?
මගේ කලා දිවියේ සුවිශේෂී කඩඉම්වලදී මීට ප්‍රථමත් උළෙලයන් කිහිපයක් සංවිධානය වුණා. ඒ වගේම අඩසිය වස සපුරන ලබන වසරේදීත්, බල්ලොත් එක්ක බෑ නාටකය සහ මගේ නව නිෂ්පාදනයන් වන තවත් නාට්‍ය 2ක් ඇතුළත් කොට නාට්‍ය උළෙලක් සංවිධානය කිරිමට සූදානමක් පවතිනවා.
ඔබේ කලා දිවියේ ලද අත්දැකීම ප්‍රයෝජනයට ගෙන, චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට යන බව මා සමඟ පැවසුවේ මීට වසර තුනකට ඉහතදී.
ඔව්. මගේ එහෙම සූදානමක් තිබුණා. නමුත් හරහට සිටියේ මගේ කාර්ය බහුලත්වය කීවොත් නිවැරැදියි. හැබැයි හොඳ පිටපතකුත් තිබිය යුතුයි. ඉතිං…ඒ වැඩේ අත්හැරලා නැතත්, තවත් වේදිකා නාටකයක් නිෂ්පාදනය කිරීමේ අලුත් තිබහක් ඇති වී තිබෙන බව පැවසිය යුතුයි.
ඔබ මීට ප්‍රථම වේදිකා නාට්‍ය 4ක් නිෂ්පාදනය කළා. දැන් තිබහක් ඇති වී අලුත් නාටකයක් නිෂ්පාදනය කළත්, එය නැරඹීමට අපේ ප්‍රේක්ෂකයා තුළ පිපාසයක් ඇති කරලීමට හැකි බව විශ්වාසද?
ඔව්. ‘කුසපබා’, ‘වෘෂභ රාජ’, ‘භාරත රැජින,’ සහ ‘ශ්‍රී ගජබා’ නාටක 4 වේදිකාවට නිෂ්පාදනය කරමින් ප්‍රේක්ෂක පිපාසය බොහෝ දුරට සන්සිඳලීමට මට හැකියාව ලැබුණා. එදා වගේම අදත් වේදිකා නාටක වෙනුවෙන් රටේ හොඳ රැල්ලක් තියෙනවා. නාට්‍ය නැරඹීමට ප්‍රේක්ෂකයෝ අඩුයි කියන එක මම පිළිගන්නේ නැහැ. නමුත් වේදිකා නාට්‍ය ප්‍රවේශ පත්‍ර මිල වැඩිවී තිබීම ප්‍රේක්ෂකයාට දරන්න අපහසුයි කියන එක මම පිළිගන්නවා. ඒ වෙනුවෙන් සාධාරණයක් කළ යුතුයි කියන තැනත් මම ඉන්නවා. නාට්‍ය ශාලා ප්‍රශ්නත් තිබෙනවා. පාසල් දරුවන් වෙනුවෙන් නාට්‍ය පෙන්වීමේදීත් ඒවා බලපානවා. මධ්‍යමහ විද්‍යාලවලදී දරුවන් වෙනුවෙන් නාට්‍ය පෙන්වීමට පහසුකම් තිබුණත්, බොහෝ තැන්වල නැහැ. පාසල් විෂය මාලාවට අදාළ නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගිකව ඉගැන්වීම වෙනුවෙන් ගුණාත්මක සහ හරවත් නාට්‍ය නිර්මාණ පාසල් දරුවන්ට පෙන්වීම වෙනුවෙන් පහසුකම් නඟාසිටුවීමට රජය මැදිහත් විය යුතුයි. ඒක අපේ රටේ කලාවේ අනාගතයට කරන යහපත් ආයෝජනයක්.
ඔබ මේ දිනවලත් වැඩිපුර ගැවසෙන්නේ වේදිකාවේ නේද..?
ඔව්. ‘බල්ලොත් එක්ක බෑ’, ‘රූකඩ රාඡ්ඡේ’ සහ ‘මල්වඩම් අනවශ්‍යයි’ සමඟÊරට පුරා සැරිසරනවා. ඊට අමතරව මගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘සෙල්ලම් බඩු’ පෙර පුහුණුවීම්වලත් යෙදී සිටිනවා. ඊට අමතරව ‘කිංකි ගුණේ’ සහ ‘ක්ලාස් සිංහල ක්ලාස්’ ටෙලි නාටක දෙකෙත් රංගගත වෙනවා. මම රඟපෑ ‘කෝ මාර්ක් නෝ මාර්ක්’ තිරගත වුණා. ‘සුහද කොකා’ සහ ‘සඳුළු තලේ කුමාරියෝ’ ප්‍රදර්ශනයට නියමිතව තිබෙනවා. තවත් චිත්‍රපට කිහිපයකුත්, විදේශ සංචාරක කිහිපයකුත් යෙදී තිබෙනවා. ඉතිං මේ හැම දේම තෝරා බේරාගෙන තමයි ඉදිරියට යන්නේ.
හාස්‍ය රංගනයෙන් අපේ ප්‍රේක්ෂකයන් නවමු ලොවකට කැඳවාගෙන යැමට ඔබට අවස්ථාව ලැබුණා. කොහොමද මෙතරම් පහසුවෙන් ඔවුන්ව එතනට රැගෙන ගියේ…
ඒක ඔබ හිතන තරම් පහසු නෑ. මිනිස්සු හිනස්සන එක ලේසිත් නැහැ. ප්‍රහසනය හරහා මිනිසුන්ගේ මොළය පිරිසිදු කිරීමක් කරනවා කියන්නේ ඉතාමත් බැරෑරුම් කටයුත්තකට. ඒක ප්‍රවේශමෙන් කළ යුත්තක්. එය හිතට වගේම හදවතටත් දැනිය යුතුයි. මේ පිළිබඳව රංගන ශිල්පියාට මනා පුහුණුවක් තිබිය යුතුයි. එවැන්නක් මා ලැබුවා නම් ඒ වේදිකාවෙන් බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ප්‍රහසනය අන්තර්ගත වු ‘නෝනාවරුනි මහත්වරුනි, ‘එතුමා’, ‘මෙතුමා’, ‘යර්ස් බොස්’, ‘කතුර’ යන ටෙලි නිර්මාණ හරහා ප්‍රහසනයට අමතරව ප්‍රේක්ෂකයාට යහපත් පණිවුඩයක් ලබා දීමටත් හැකිවුණා යෑයි මා විශ්වාස කරනවා.
නෑදෑයෝ චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට පා තැබූ ඔබ ඉන්පසු විවිධ වූ චරිතයනට ජීවය මුසු කළා. ඒ පිළිබඳව පැවසිය හැකි දේ කෙබඳුද?
ටී. බී. ඉලංගරත්න මහතාගේ නවකතාවක් අනුසාරයෙන් තමයි ‘නෑදැයෝ’ තිරයට නැඟුණේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සිනමාවේදී කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහතායි. ඉන්පසු ‘සසර’, ‘හිඟන කොල්ලා’, ‘සඳකඩ පහණ’, ‘සිරිපතුල’, ‘සිකුරු හතේ’, ‘මගෝඩිගෝ ඩයි’, ‘සර් ලාස්ට් චාන්ස්’, ‘සක්විති දඩයම’ ඇතුළු චිත්‍රපට 40කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් මගේ රංගන හැකියාවන් විද්‍යමාන කළා. ඉන් චිත්‍රපට බොහොමයකදීම මා නිරූපණය කළේ ප්‍රධාන චරිතය.
වසර 49ක් කලාව සමඟ දිවි ගෙවූ ඔබ, මේ පැමිණෙමින් සිටින්නේ 50 වැනි වසරට. කලාව ජීවත් කරවූ ඔබ වැන්නෙකුට ඒ වෙනුවෙන් ලැබුණු විශේෂිත වූ යමක් තිබෙනවාද? මම අහන්නේ රජයෙන් හෝ වෙනත් තැනකින්…
දෙස් විදෙස් ප්‍රේක්ෂක ආදරය සහ ගෞරවයත්, නොයෙක් ස්ථානවලදී ලැබූ සම්මාන සහතිකත් හැරුණු කොට වෘත්තීය මට්ටමේ කලාකරුවකු වන මට කිසිදු රජයකින් ලැබුණු විශේෂිත වූ කිසිවක් නැහැ. අත පය හයිය තියෙන කම් මේ සෙල්ලම් පෙන්විය හැකි වුවත් වයසට යමින් පවතින මා වැනි බොහෝ කලාකරුවන්ට අද කිසිදු හව්හරණක් නැති බව සිහිපත් කළ යුතුයි. අපේ රටේ කලාකරුවන්ගේ අනාගතය ඇත්තටම හරිම ශෝචනීයයි. අපට පැන්ෂන් එකක්වත් නැහැ. ඒ වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට කිසිදු රජයක් මැදිහත් වුණු බවක් පෙනෙන්නටවත් නැහැ. මන්චි ආයතනයත්, සම්පත් බැංකුවත්, මැලිබන් ආයතනයත් මට කලාව වෙනුවෙන් බොහෝ උපකාර කරනවා. ඔවුන්ට ස්තුතියි. ඒ වගේම මගේ කලා දිවියේ පුරාවටම මා සමග පැමිණි මගේ දයාබර ප්‍රේක්ෂක ජනතාවට මට සැමදා ශක්තියක් වූ බව කෘතවේදීව සිහිපත් කළ යුතුයි.
ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය වංශ කතාවේ ආරම්භය සනිටුහන් කළ ‘දිමුතු මුතු’ හි එදා ප්‍රධාන රංගන ශිල්පිනිය වූ ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පිනි, දේවිකා මිහිරාණි අද විජය නන්දසිරියන්ගේ දයාබර බිරිඳයි. ඔහුත්, ඇයත් ජීවන ගමනේදී මෙන්ම කලා දිවියේදීත් බොහෝ නිර්මාණයන්හි එක්ව ගමන් ගත්තේ කලාවට සැබෑ ආනන්දයක් එකතු කරමින්. මේ ඒ පිළිබඳව මා කළ විමසුමට විජය නන්දසිරි කලාකරුවාණන් ලබාදුන් පිළිතුරයි.
මම නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය හතරේදීම දේවිකා මා සමග එක්ව රඟපෑවා. කලකට පසු ඇය නැවතත් වේදිකාවට එන්නේ මගේ අලුත්ම වේදිකා නාට්‍ය නිෂ්පාදනය සමගින්. ජීවන ගමනේදී වගේම කලාවේදීත් ඇය මට ලබා දුන් සහාය මගේ නිර්මාණ දිවිය පුරවාලීමට සමත් වූවා යෑයි පවසන්නේ සතුටින්. අපිට දරුවන් දෙදෙනයි. දුව නවාංජනා ඔස්ටේ්රලියාවේ ව්‍යාපාරිකයකු වන චමින්ද ගුණරත්න සමඟ විවාහ වී බ්‍රිස්බෙන් හි පදිංචිව සිටිනවා. පුතා රසාංජන සුචිත්‍ර ඇමරිකාවේ අධ්‍යාපනය ලබනවා. ඔවුන් ළඟ නැති නිසා මමත්, දේවිකාත් අද එක්තරා හුදෙකලාවකට නතු වූ ජීවිතයක් ගත කළත්, කලාව වෙනුවෙන් කළ කී දැ සහ තවමත් එහි ගමන් කරමින් කරන කියන දැ නිසාවෙන්, ඒ හුදෙකලාව අවම කර ගෙන ඇති බවක් දැනෙනවා. ඉතිං…ඒ ගමන අපට සවිය ඇති තුරාවටම පවතීවී.
සුජීව තත්සර
2015/04/17 දිවයින පුවත්පත