Greater Toronto Area (GTA) හි ඔබ සමග කටයුතු කරන දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වශයෙන්, 2025 වසරේදී අප බලාපොරොත්තු වන සක්‍රීය දේපළ වෙළඳපොළ පිළිබඳ කිසියම් අවබෝධයක් ඔබ සමග මෙසේ බෙදා ගැනීමට හැකි වීම ගැන මම සතුටට පත් වෙමි. මිනිසුන්ගේ අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතා අතර ‘නිවස’ ඉදිරියෙන්ම පවතී. නව වසර ආරම්භයත් සමග, බොහෝ නිවාස හිමියන් සහ අනාගත ගැනුම්කරුවන් නිවාස ක්ෂේත්රයේ ඉදිරියේදී සිදුවන තත්ත්වයන් පිළිබඳ කුතුහලයෙන් බලා සිටිති.
2025 වෙළඳපොළ ප්රවණතා
සංක්‍රමණ සහ ආර්ථික අවස්ථා මගින් හසුරුවනු ලබන ජනගහණ වර්ධනයකට ලක්වෙමින් පවතින GTA ප්‍රජාවේ විශාලනය, නිවාස වෙළඳපොළ මත අඛණ්ඩ ස්ථාවර ඉල්ලුමක් ඇති කරයි. ඒ මගින් නිවාස මිල දී ගන්නන්ට, විකුණුම්කරුවන්ට සහ ආයෝජකයින්ට අවස්ථා නිර්මාණය කරනු ලබයි. විශේෂයෙන්ම පරිසර හිතකාමී සහ බලශක්ති කාර්යක්ෂම නිවාස සඳහා වන ඉල්ලුම වර්තමානයේදී ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, පොලී අනුපාත, රජයේ ප්‍රතිපත්ති සහ පාරිභෝගික අපේක්ෂාවන්හි පවතින රුචි අරුචිකම් යන සියල්ල මත වෙළඳපොළේ මූලික ප්රවණතා වෙනස් කරනු ලබයි.
Canadian Real Estate Association(CREA) දත්තයන්ට අනුව, 2024 මැයි මාසයේ නිවාස අලෙවිය 2021 වසරේ සිට වාර්තා වූ අඩුම අගය පෙන්නුම් කර ඇත. 2020 සහ 2021 කොරෝනා වසංගතය පැවති වර්ෂවලදී කැනේඩියානු දේපළ වෙළඳපොළ තරගකාරීත්වයෙන් ඇවිලුණු අතර, එකල තිබූ වාර්තාගත අඩු
උකස් අනුපාත සහිතව නිවසක් ලබා ගැනීමට, ගැනුම්කරුවන් වඩ වඩාත් උද්යෝගිමත් විය. නමුත් බොහෝ ගැනුම්කරුවන්ට ඒ වන විට පැවති තරගකාරීත්වයත් සමග වැඩි මිල ගණන් නිවාස සඳහා ගෙවීමට සිදුවිය. 2023 සහ 2024 ඊට හාත්පසින්ම වෙනස් වෙළඳපොළ තත්ත්වයක් ඇති කළ අතර එම වසර දෙකට සාපේක්ෂව, 2025 වසර තුළ ඔන්ටේරියෝ නිවාස වෙළඳපොළ, වඩාත් සමබර තත්ත්වයක පවතිනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඒ පිළිබඳව ආර්ථික විශේෂඥයින් පවසන්නේ, එළඹෙන මාර්තු මාසයෙන් පසු ගැනුම් කරුවන් අතර ශක්තිමත් ඉල්ලුමක් සමගින් දේපළ වෙළඳාම් ක්‍රියාකාරකම් වඩාත් ඵලදායී අයුරින් සිදුවිය හැකි බවයි.
ඒ බව සනාථ වන යම් යම් සහනදායී ඉඟි දැන් පළවෙමින් පවතින අතර, 2023 මැදක් පමණ වනතුරු, උච්චාවචනය වූ නිවාස මිල ගණන් සහ තරගකාරී ලංසු තැබීමේ යුද්ධයෙන් පසු, වර්තමාන වෙළඳපොළ කිසියම් ස්ථාවර තැනකට ළඟා වෙමින් පවතී. මෙම සමතුලිතතාව, අනාගත ගැනුම්කරුවන්ට ඔවුන්ගේ අයවැය තුළ නිවාස සොයා ගැනීමට වඩාත් හොඳ අවස්ථාවක් සපයන අතර, විකුණුම්කරුවන්ට තිරසාර දේපළ වටිනාකම්වලින් ප්රතිලාභ ලැබිය හැකි වටාපිටාවක් ඇති කරණු ලබයි.
මෙම වසරේ, නිවසක් මිල දී ගැනීමට ඔබ අදහස් කර සිටී නම් එය ක්‍රියාත්මක කිරීම සුදුසු කාලය එළඹෙමින් පවතින බව මගේ අදහසයි. එසේ කීමට බලපාන හේතු කීපයක් ඇත.
- පොලී අනුපාත පූර්ව වසංගත මට්ටමට වඩා ඉහළ තත්ත්වයක පැවතියත්, 2024 වසරට වඩා හොඳ, සීමා මට්ටමකට දැන් පැමිණ ඇත. මේ නිසා ඔබගේ මූල්‍ය ණය සැලසුම් කිරීමේදී, වඩා හොඳ මාර්ගෝපදේශයක් එයින් ලබා දෙයි.
- පොලී අනුපාත මීට වඩා පහළ ගියහොත්, නිවාස වෙළඳපොළ තුළට පැමිණෙන නිවාසයන්හි මිල ගණන් ඉහළ යෑම නිසැකයෙන්ම සිදුවන්නකි. එසේ වුවහොත් නැවතත් පෙර ලෙසම ලංසු තැබීම් ඇති වීමට පවතින ඉඩ වැඩිය. එහිදී ඔබ බලාපොරොත්තු වන නිවාසය ලබා ගැනීමේදී තරගකාරී ලෙස කටයුතු කිරීමට සිදුවිය හැක.
- එසේම ඔබගේ අවශ්‍යතා සපුරන නිවසක් මිල දී ගැනීම සඳහා, වැඩි කාලයක් වැය කරමින් වෙළඳපොළ තුළ සැරිසැරීමට සිදුවනු ඇත.
- 2025 වසර වෙළඳපොළට වැඩියෙන් නිවාස පැමිණෙන වසරක් ලෙස පුරෝකථනයන් සිදුවෙමින් පවතී.
CMHC වාර්තාවලට අනුව නිවාස හිමියන්ගෙන් බහුතරයක් සැලකිය යුතු ඉහළ පොලී අනුපාතවලට මුහුණ දෙමින්, 2025 දී උකස් මිලියන 1.2 ක් අලුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. 2020 සහ 2021 දී නිවාස මිල දී ගත් අයගේ වසර 5 ක ස්ථාවර උකස් අනුපාතය සියයට 1.3 ක් තරම් අඩු විය. නමුත්, වසර 4 හෝ 5 කල්පිරීමෙන් පසු, 2025 දී උකස් අලුත් කිරීම සඳහා පැමිණෙන අයට සියයට තුනකට වැඩි උකස් අනුපාතයන්ට මුහුණ දීමට සිදුවේ. එම තත්ත්වය තුළ බොහෝ දෙනෙකු තමන්ගේ නිවාස විකිණීමට පෙළඹිය හැක. එවිට පසුගිය වසරට වඩා මේ වසරෙහි වෙළඳපොළෙහි නිවාස සැපයුම වැඩි වනු ඇත.
විකුණුම් කරුවන් සඳහා
ඔබගේ නිවසෙහි උකස කල් පිරී, එය අලුත් කිරීමට සිදුව ඇත්නම් ඒ සඳහා නව ඉහළ උකස් අනුපාතයන් වෙත යෑමට ඔබට සිදුවේ. ඇතැම්විට එය ඔබගේ මාසික වියහියදම්වලදී බරපතල තත්ත්වයක් විය හැක. ඇතැම් විට ඔබගේ මූල්‍ය තත්ත්වය මත ඔබගේ නිවස අහිමි වේද යන බියත් (මෙය දේපල FOMO – (fear of missing out) ලෙස හැඳින්වේ) ඔබට ඇති විය හැක. නමුත් නිවාස හිමියකු වන ඔබ ඒ ගැන එතරම් වද විය යුතු නැත. ඔබගේ මාසික උකස් පිරිවැය අඩු කරගනිමින් ඔබගේම නිවසක ජීවත් වීමට, කල්පනාකාරීව ක්‍රම සකස් කර ගැනීමේ හැකියාව ඔබට ඇත. එහිදී උකස් අගය වැඩි වන ඔබගේ වර්තමාන නිවස විකිණීමට කටයුතු කළ යුතු අතර නැවත ඔබ මිල දී ගන්නා නිවස, පෙර ඔබ ගෙවූ මූල්‍ය මට්ටමට තබා ගැනීමට කටයුතු කළ යුතුයි.
ඔබ, ඔබේ දේපළ විකිණීමට අදහස් කරන්නේ නම්, 2025 වසර, නිවාස ලැයිස්තුගත කිරීමට හිතකර කාලයයි. GTA හි නිවාස සඳහා ඇති ඉල්ලුම තවමත් ශක්තිමත්ව පවතින අතර අලුතින් නිවාස මිල දී ගන්නා බොහෝ දෙනෙකු GTA වෙත ඒමට කැමැත්තෙන් පසුවෙති. මහජන ප්‍රවාහන සේවාවන්, පාසල් සහ වෙනත් පහසුකම් වැනි ප්‍රජාවන්හි ඉල්ලුම, වැඩි පහසුකම් සඳහා නගරබද සකස් වී තිබීම මත ඔවුන් තවමත් ප්‍රධාන නගරයන්හි ජීවත් වීම සුවපහසු වෙතැයි සලකති. විශේෂයෙන්ම කොරෝනා වසංගත කාලයේ නිවෙස්වල සිට රාජකාරි කටයුතු කිරීමට පෙළඹීමත් සමග, නගරවලින් පිටව ගිය බොහෝ දෙනෙක් නැවතත් සේවා සඳහා යාමේ පහසුව සලකා නගර වෙත පැමිණෙති.
ඔබගේ නිවස විකිණීමට අදහස් කර ඇත්නම්, ඔබේ නිවසෙහි ඇති අලුත්වැඩියා කටයුතු සිදුකර, අවශ්‍ය අනෙකුත් අලංකාර කටයුතු සිදුකිරීමට සුදුසු කාලය මෙයයි. එහිදී, සිත්ගන්නා ආකාරයෙන් ඔබගේ නිවස වෙළඳපොළට ඉදිරිපත් කිරීමෙන් වඩාත් ඵලදායී ලෙස තරගකාරී මිලක් ලබා ගැනීමට හැකිවනු ඇත. එසේ නිවස සූදානම් කිරීම, ගැනුම්කරුවන් ආකර්ෂණය කිරීමේදී සුවිශේෂී වෙනසක් සපයයි.
ආයෝජකයින් සඳහා
Toronto Regional Real Estate Board දත්තයන්ට අනුව, 2024 ඔක්තෝබර් මාසයේදී, ටොරොන්ටෝහි නිවාස ලැයිස්තුගත කිරීම් ඉහළ ගොස් ඇත. පසුගිය කාලය තුළ ඉහළ උකස් අනුපාත පැවතීමත් සමග ආයෝජන සඳහා නිවාස මිල දී ගත් බොහෝ දෙනෙකු නිවාස විකිණීමට පෙළඹී තිබුණි. ආයෝජන ලෙස කොන්ඩෝ නිවාස මිල දී ගත් අයට මෙම උකස් අනුපාත වැඩිවීම වඩාත්ම දරුණු ලෙස බලපා තිබුණි. (කොන්ඩෝ නිවසක් කුලියට දීමේදී එය තනි ඒකකයක් ලෙස දීමට සිදුවන අතර ආයෝජනය සඳහා නිවසක් මිල දී ගතහොත් එය ඉහළ තට්ටුව සහ බේස්මන්ට් ලෙස ඒකක දෙකකට හෝ කාමර වශයෙන් කුලියට දිය හැක.) 2025 දී උකස් ණය අනුපාත අඩු වෙමින් පවතින නිසා කොන්ඩෝ ආයෝජකයින්ගේ තත්ත්වය තරමක් සැහැල්ලු විය හැක. විශේෂයෙන්ම, තරුණ වෘත්තිකයින් නාගරික ජීවන රටාව සඳහා සෑම විටෙකම මනාපයක් දක්වන නිසා නාගරික පළාත්වල පවතින කොන්ඩෝ නිවාස සඳහා හොඳ කුලී මිලක් අයකර ගත හැකි වනු ඇත. තවද, නිවාස උකස් අලුත් කිරීම් කල් පිරීමත් සමග සැලකිය යුතු පිරිසක් තමන්ගේ නිවාස අතහැර කුලී නිවෙස් වෙත යෑමට පෙළඹුනහොත් දේපළ සඳහා ආයෝජනය කරන්නන්ට එය හොඳ තත්ත්වයක් වේ.
CIBC මගින් නිකුත් කර ඇති ආර්ථික වාර්තාවකට අනුව, 2023 සිට කුලී නිවාසවල මාසික කුලිය අඛණ්ඩව වැඩි වෙමින් ඇත. ඔබ ආයෝජනය සඳහා නිවසක් මිල දී ගැනීමට සිතනවා නම්, ඒ සඳහා ඒකක දෙකක් ලෙස කුලියට දිය හැකි නිවසක් තෝරා ගැනීම සුදුසු බව මගේ අදහසයි. එහිදී, වැඩි පිරිසක් සංක්‍රමණය වන විශේෂ ස්ථාන, උසස් අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල සහ මාර්ග පහසුකම් ඇතුළු සැලසුම්ගත යටිතල පහසුකම් සහිත සංවර්ධිත ප්‍රදේශවල නිවාස, කුලියට දීම අරමුණු කොට ආයෝජනය කිරීමෙන් දිගුකාලීන වාසි ලැබේ.
වර්තමානයේ රජය විසින් සංක්‍රමණිකයන් සඳහා ගෙන යන, අන්තර්ජාතික ශිෂ්‍යන් ගෙන්වීම සීමාකිරීම සහ ස්ථිර පදිංචිකරුවන් සීමා කිරීම වැනි කටයුතුවලින් දේපළ වෙළඳපොළෙහි තත්ත්වයන්ට කිසිසේත්ම බලපෑමක් ඇති නොවේ. ඔන්ටේරියෝහි GTA කලාපයේ දැන් සිටින ජනගහනයට පවා සෑහෙන තරම් නිවාස නොමැති බව ඒ පිළිබඳව වන වාර්තා සඳහන් කරයි. එනිසා අලුතින් පැමිණෙන්නන් ඉලක්ක නොකළද GTA හි දේපළ වෙළඳාම, දේපළ මිල දී ගැනීම සහ විකිණීම, ආයෝජනය කවදත් තරගකාරී මට්ටමක පවතිනු ඇත.
පළමු ගැනුම්කරුවන් සඳහා
අළුතින් රැකියා ලබා ගනිමින් ශ්‍රම වෙළඳපොළට එක්වන නවකයන්ට, වර්තමානයේ පවතින වටපිටාව යටතේ, යම් කලක් ගතවන තුරු තමන්ගේම නිවසකට යාමට හැකියාවක් නොලැබෙනු ඇතැයි යන පසුතැවිල්ල අපට නිතරම අසන්නට ලැබෙයි. නමුත් ඔබ එසේ විය යුතු නැත. ඔබගේම නිවසක් ලබාගැනීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම 2025 වසරේදී ඇරඹීමට ඔබට හැකිය.
මෙහිදී වඩාත්ම වැදගත් පියවර වන්නේ, දැනට අයෝජනය කළ හැකි මට්ටමේ නිවසක් මුලින්ම මිල දී ගැනීමයි. සමහරවිට ඔබට දැන් ජීවත් වන නාගරික ප්‍රදේශයෙන් එය ගැනීම අපහසු විය හැක. නමුත් හැකි ස්ථානයකින් නිවසක් මිල දී ගෙන දැනට එය කුලියට දී, යම් කාලයක් තබා ගැනීමෙන්, ඔබ කැමති ප්‍රදේශයෙන් නිවසක් මිල දී ගැනීම සඳහා අවශ්‍ය මූලික මුදල (down payment) ඔබටත් නොදැනුවත්වම සාදා ගැනීමට හැකිය. උදාහරණයක් ලෙස, 2019 දී ඛදබාදබ පළාතෙන් ඩොලර් 250,000 කට පමණ මිල දී ගත් නිවසක් 2024 දී ඩොලර් 400,000 කට වැඩියෙන් විකුණාගත හැක.
පළමුවරට නිවසක් මිල දී ගැනීමට සැලසුම් කිරීමේදී දිගුකාලීන නිවාස හිමිකාරිත්ව ඉලක්කය ගැන ඔබ සලකා බැලිය යුතුයි. එහිදී ඔබේ පළමු නිවස ස්ථිර නිවසක් ලෙස නොව, ඔබේ අවසාන සිහින නිවහන වෙත යන එක් පියවරක් ලෙස සිතීම නවකයන් සඳහා නිවාස හිමිකාරිත්වයේ ඉණිමඟ නැගීමට ගත හැකි හොඳම පියවර වේ.
Gamini Abeysinghe
ඔන්ටේරියෝ නිවාස හා දේපොළ වෙළඳාම් සංගමයෙහි බලයලත් දේපල හා නිවාස වෙළඳාම් අලෙවි නියෝජිත
Tel: 1-416 822 2789
Email : shinko@rogers.com
Web : www.gaminiabeysinghe.com