දිනපතා කොරෝනාවෛරසය ආසාදනය වී මිය යන සංඛ්‍යාව 4000 ක් පමණ වීමත් සමග එම මළසිරුරු ආදාහනය කර ගැනීමේ අර්බුදයට ඉන්දියානුවන් මුහුණ පා සිටී. මෙය කෙතරම් දරුණුද යත්, එරට ප්‍රධාන ගංගාවල කොවිඩ්-19 නිසා මිය ගිය මිනිසුන්ගේ සිරුරු පා වෙන මට්ටමට පැමිණ ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
කොවිඩ්-19 ආසාදනය වී මිය ගිය සමස්ත ලෝක ප්‍රජාව අතරින් තුනෙන් එකක්ම ඉන්දියානු ජනතාව වන අතර එහි සෞඛ්‍ය පද්ධතියේ පවතින දැඩි දුබලතා මේ බොහෝ මරණවලට හේතු වී ඇති බව සඳහන් වේ. ලොව පුරා රටවල් ඔක්සිජන් සිලින්ඩර ඇතුළු අනෙකුත් වෛද්‍ය උපකරන ඉන්දියාව වෙත පරිත්‍යාග කර තිබියදීත් එහි සෞඛ්‍ය පද්ධතිය තවමත් අඩපණව තිබීම බොහෝ දෙනෙකුගේ විමතියට ලක්ව තිබෙන්නකි.
විශේෂයෙන්ම ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ආරක්ෂිත සෞඛ්‍ය සේවාවන් නොමැති වීම නිසා කොවිඩ්-19 රෝගීන් විශාල ලෙස මිය යයි. මෙම මළසිරුරු හින්දු ආදාහන ක්‍රමයට දවා අළු කිරීමට අවශ්‍ය දැව සපයාගැනීමේදී එම දුප්පත් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටී. දැව මිල ගණන් ඉහළ යාමත් සමග දර සපයා ගැනීමට අපහසු පුද්ගලයින් තම ආදරණීයයන්ගේ මළසිරුරු මෙසේ ගඟේ පා කර යැවීමට පෙළඹී ඇති බව ගංගා නදියේ පාවූ මළසිරුරු 71 ක් පිළිබඳ විමර්ශනය කළ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
කිලෝමීටර 2500 කට වැඩි දුරක් ගෙවමින් ඉන්දියාවේ විශාල ප්‍රාන්ත ප්‍රමාණයක් හරහා ගලා බසින ගංගා නදියේ ජනාකීර්ණ පළාත්වල ඉවුරු දෙපසම මේ වන විට මළ මිනී ආදාහනය කෙරෙමින් පවතී. එම තත්ත්වය යටතේ මෙම ආදාහනය නොකරන ලද මළ සිරුරු මොන ප්‍රාන්තයක මොන ප්‍රදේශයකින් ගංගා නදියට එක්වන්නට ඇද්ද යන්න සෙවිය නොහැකි බව මෙම නිලධාරීන පවසා සිටී.
ඉන්දියාවෙන් වාර්තා වන රෝගීන් සහ මරණ සංඛ්‍යාව රජය මගින් නිකුත් කරන සංඛ්‍යාලේඛන මෙන් තුන් ගුණයකටත් වැඩි විය හැකි බව පැවසේ.
ඉන්දියාවෙන් හඳුනාගත් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ අදහස් සක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එය ගෝලීය අවධානයට ලක් විය යුතු ප්‍රභේදයක් බවයි. මූලික අධ්‍යයනවලින් හෙළි වී ඇති කරුණුවලට අනුව එය ඉතාමත් ඉක්මනින් ව්‍යාප්ත වන වෛරස ප්‍රභේදයක් බව හඳුනාගෙන ඇතැයි WHO පවසයි.