කැනඩාවේ අගමැති ලෙස වසර නවයක් කටයුතු කරන ජස්ටින් ටෲඩෝ තවදුරටත් ජනප්රිය නායකයෙකු නොවන බව ලිබරල් පක්ෂයේ පසුපෙළ සාමාජික මන්ත්රී කණ්ඩායමක් ටෲඩෝ වෙත කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත. පසුගියදා ලිබරල් නීති සම්පාදකයින් සමග පැවැත්වූ කාරක සභා රැස්වීමකදී ඔවුන් මෙම අදහස් අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.
මෙහිදී කැබිනට් නොවන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 20 දෙනෙකු මීළඟ මැතිවරණයේදී සිදුවිය හැකි මැතිවරණ පරාජයකට පෙර ඉල්ලා අස්වන ලෙස තම නායකයාගෙන් ඉල්ලා සිට ඇත. ටෲඩෝ නිසා පක්ෂය තුන්වන ස්ථානය දක්වා තල්ලු කළ හැකි ලජ්ජා සහගත මැතිවරණ පරාජයක් සිදුවිය හැකි බව මේ පිරිස එහිදී පෙන්වා දී ඇත. කැනඩා පාර්ලිමේන්තුවේ ලිබරල් මන්ත්රීවරුන් 153 ක් සිටින අතර ටෲඩෝ ගේ නායකත්වයට අභියෝග කිරීමට තවමත් පුළුල් සහයෝගයක් ලැබී නොමැත. දිනෙන් දින ටෲඩෝගේ දේශපාලන අනාගතය පිළිබඳ ප්රශ්න වැඩි වෙමින් පවතින නමුත් ඔහුට විරුද්ධව පක්ෂයට විකල්ප නායකයෙකුද මෙතෙක් ඉදිරිපත් වී නැත.
මේ වන විට කැනඩාවේ ජන ජීවිතය අර්බුදකාරී තත්ත්වයකට පත්වී ඇති අතර නිවාස හිඟය සමග ජීවන වියදම ඉහළ යෑම වැනි කරුණු සඳහා නායකත්වය ප්රධාන කොට ගනු ලබන අසාර්ථක ප්රතිපත්ති සහ වැරදි කළමනාකරණය හේතු වී ඇතැයි ඔවුහු පවසති.
තමන්ව නායකත්වයෙන් නෙරපා හැරීමට කටයුතු කරන ලිබරල් පක්ෂ දේශපාලන මණ්ඩලයේ උත්සාහයන් නොතකා හරිමින් ටෲඩෝ ප්රකාශ කර ඇත්තේ ලිබරල් පක්ෂය ‘ශක්තිමත් සහ එක්සත්’ බවයි. ලබන වසරේ පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණයට තරග කිරීමට සහ ජයග්රහණය කිරීමට තමා අදහස් කරන බවද එහිදී අගමැති ටෲඩෝ ප්රකාශ කර ඇත. මේ වන විට 53 හැවිරිදි ජස්ටින් ටෲඩෝ 2013 සිට ලිබරල් පක්ෂ නායකත්වයේ පසුවන අතර 2015 වසරේදී පළමුවරට කැනඩා අගමැතිවරයා ලෙස තේරී පත්විය.