සෑම වසරකම පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකු කරකැවිල්ල (vertigo හෝ dizziness) ශරීරයේ අසමතුලිතභාවය (unsteadiness) වැනි තත්ත්වයන්ට ගොදුරු වන බව විවිධ සෞඛ්‍ය අංශ විසින් කර ඇති සමීක්ෂණ තහවුරු කරයි. කරකැවිල්ලත් සමග මුහුණ පෑමට සිදුවන රෝග ලක්ෂණයන් දැඩි අපහසු සහ පීඩාකාරී අප්‍රසන්න අත්දැකීම් වුවත් බොහෝ අවස්ථාවන්හිදී මෙවැනි තත්ත්ව හානිකර නොවේ. ඇතැම් විට කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව වුවද මෙම රෝග සුව වේ. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණ වන්නේ හදිසියේ ඔබට ඇතිවන කරකැවිල්ල අහිංසකද නැද්ද යන්න තීරණය කිරීමේ කටයුත්ත වෛද්‍යවරයෙකු වෙතින්ම ඉටුකර ගැනීමට වග බලා ගැනීමයි. එහිදී සිදුකරන පරීක්ෂණ මගින් ඔබගේ කරකැවිල්ල කුමන තත්ත්වයක් මත ඇති වූවක්දැයි පැහැදිලි නිගමනයකට එළඹිය හැකි වෙයි.

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ Alfred Hitchock ගේ විශිෂ්ටතම සිනමා කෘතිය ලෙස සැලකෙන 1958 දී තිරගත වූ VERTIGO චිත්‍රපටය තැනෙන්නේ මිනිසුන් තුළ උස ස්ථාන පිළිබඳව ඇතිවන භීතිය(acrophobia) තේමා කොටගෙන වුවත් වෛද්‍ය ප්‍රකාශනයට අනුව vertigo යන්න භාවිත වන්නේ වෙනස් ආකාරයකිනි. එහිදී ඔබ හෝ ඔබ අවට පරිසරය නිශ්චලව තිබියදී ඒ සියල්ලම ඔබ වටා අධික වේගයෙන් භ්‍රමණය වන ආකාරයේ හැඟීමක් විස්තර කිරීම සඳහා vertigo යන්න යොදාගෙන ඇත.

Dizziness or Vertigo?

(dizziness/ vertigo වචන දෙකෙහිම සිංහල අර්ථය කරකැවිල්ල ලෙස යොදාගැනීමට සිදුවන නිසා ඔබට වඩාත් පැහැදිලි කිරීමට ඉංග්‍රිසි වචනම යොදාගැනීමට අදහස් කළෙමු.) වෛද්‍යවරු පවසන ආකාරයට dizziness යන රෝගී තත්ත්වයට බොහෝ සෞඛ්‍ය හේතු ඇතුළත් විය හැක. Dizziness බව ඇතිවීමේදී ඇතැම් විට ක්ලාන්ත වීමට යන ආකාරයේ සැහැල්ලු හැඟීමක් ඔබට දැනෙන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවල dizziness ගතියත් සමග ඔබේ පාදවල අස්ථාවර(unsteady) බවක් ඔබට දැනෙන්නට පුළුවන. මේ ආකාරයට ඇතිවන තත්ත්වයන් ඇතැම් විට හෘදවාහිනිවල හෝ හුස්ම ගැනීමේ රටාවේ ගැටලු වීමට වැඩි ඉඩක් ඇත. එම නිසා කිසිදු විටෙක මෙය සාමාන්‍ය තත්ත්වයක් නිසා හට ගන්නට ඇතැයි සලකා බැහැර නොකිරීමට වගබලා ගැනීම ඔබගේ කාර්යයකි.

නමුත් vertigo තත්ත්වයේදී ඇතිවන කරකැවිල්ල, චලනය පිළිබඳව මිථ්‍යාවක් ඇති කරවන්නක් බව වෛද්‍යවරු පවසති. එය සැබවින්ම ඉන්ද්‍රියයන් විසින් යම් දෙයක් පිළිබඳව වැරදි ලෙස වටහා ගැනීමක් එසේත් නැතිනම් illusion රූප මැවීමක් ලෙස ඔවුන් හඳුන්වනු ලබයි. අප චලනය වන විට මොළය විසින් එය හඳුනාගනු ලබන්නේ ඇස්, අභ්‍යන්තර කන, බෙල්ලේ සහ අත්පාවල සිරුරේ චලනය දැනෙන ප්‍රතිග්‍රාහකවල සංඥා ඒකාබද්ධ කිරීමෙනි. නමුත් සැබෑ vertigo තත්ත්වය තුළ අවට සියල්ල ඔබ වටා කරකැවෙන විට ඔබ නිශ්චලව සිටින බවක් ඔබට දැනේ.

Vertigo තත්ත්වය ඇතිවන්නේ ඇයි?

අපගේ සිරුර සමබරව තබාගැනීමේදී කන ඉතාමත් වැදගත් වන අතර විශේෂයෙන්ම අභ්‍යන්තර කනෙහි පවතින කර්ණශංඛය නම් තරලයක් සහිත අර්ධ වක්‍රාකාර නාළ එහිදී ප්‍රධාන තැනක් ගනී. එසේම එම නාලවලට සම්බන්ධව ඇති පැසක් වැනි ස්ථාන තුළ කැල්සියම් ස්ථටික තැන්පත්ව ඇත. අප හිස චලනය කරන විට අර්ධ වක්‍රාකාර නාළවල පවතින මේ තරලය කම්පනය වීමේදී එහි තිබෙන සෛල සංවේදනය වී මොළය කරා ගමන් කිරීම සිදුකරයි. මෙම තත්ත්වය සිරුර සමබර කර සමතුලිත කිරීම සඳහා උපකාරී වේ. නමුත් කනේ පවතින මෙම අර්ධ වක්‍රාකාර නාළවල යම් රෝගී තත්ත්වයක් ඇති වූ විට ඒවායේ සුපුරුදු ක්‍රියාවලියට බාධා පමුණුවන අතර එය ශරීරයේ සමතුලිතතාව බිඳ වැටීමට ඍජුවම බලපානු ලබන අතර මෙම තත්ත්වය vertigo ලෙස හඳුන්වනු ලබයි. තවත් ආකාරයකින් පැවසුවහොත් vestibular neuritis ලෙස හැඳින්වෙන අභ්‍යන්තර කන ආසාදනය වීමේ තත්ත්වය මෙම රෝග තත්ත්වයට හේතු වී ඇත. ඇතැම් අයට vertigo සෙම්ප්‍රතිශ්‍යාවකින් පසුව වුවත් ඇතිවිය හැකි අතර සති කිහිපයක් දක්වා පැවතිය හැක. ඇතැම් අයට vertigo වරින් වර මතුවන රෝගී තත්ත්වයක් ලෙස එදිනෙදා වැඩකටයුතුවලට පවා බාධා කරමින් ඇතිවිය හැක.

Vertigo තත්ත්වයෙහි අවස්ථා කිහිපයක් පිළිබඳව සඳහන් වන අතර මේවා හඳුනා ගැනීමෙන් රෝගය සුවකර ගැනීම සඳහා ප්‍රතිකාර කිරීම පහසු කෙරේ. විශේෂයෙන්ම කනේ සමතුලිතතාව නැති කර vertigo ඇති කරන රෝග තත්ත්වයන් කිහිපයක් මෙසේයි.

  • BPPV රෝගය
  • Menieres රෝගය
  • Vestibular Nuronitis රෝගය

Benign paroxysmal positional vertigo (BPPV)

කනේ සමතුලිතතාව නැතිවී vertigo ඇතිවීමට බහුලවම බලපාන්නේ BPPV තත්ත්වයයි. එක්තරා ආකාරයකින් මෙය අභ්‍යන්තර කනෙහි ඇතිවන යාන්ත්‍රික ගැටලුවක් ලෙස හැඳින්විය හැක. එය මෙසේ දැක්විය හැක. අප ක්‍රියා කරන විට අභ්‍යන්තර කන්වල ඇති කැල්සියම් ස්ඵටික හා තරල මගින් මොළයට සංඥා ගෙන ගොස් අප වෙත සමබරතාව ලබා දේ. නමුත් මෙම සංඥා ලබාදීම ඇස්, අත් පා ආදියෙන් දෙන සංඥාවලට වඩා පසුගාමී වුවහොත් එය චලනය පිළිබඳ මායාරූපී තත්ත්වයක් අප වෙත ඇති කරයි. (It creates an illusion of movement)
තවදුරටත් විස්තර කළහොත්, අප හිස චලනය කරන විට කනේ පැසයන් තුළ ඇති කැල්සියම් ස්ඵටික කනේ අර්ධ වක්‍රාකාර නාළවල තිබෙන තරලය හා මුසු වීම සිදුවේ. මෙයින් අභ්‍යන්තර කන් සංඥා මගින් nystagmus ලෙස හැඳින්වෙන මොළයේ අනෙකුත් චලන සංඥා සමග ගැටෙන කම්පන සහගත, එකිනෙකට සම්බන්ධ නොවන අක්ෂි චලනයන් ඇති වීම නිසා vertigo ඇතිකරයි. මෙම තත්ත්වය තත්පර කිහිපයකින් හෝ විනාඩි කිහිපයකින් නැතිවී යා හැකියි. උදාහරණයක් ලෙස කිවහොත්, මඩ වතුර සහිත වීදුරුවක් සෙලවීමෙන් කැළඹුණු මණ්ඩි, වීදුරුව අඩියට ගොස් නැවත තැන්පත් වීමට යම් කාලයක් ගතවන තුරු කැලඹී තිබෙන ආකාරයෙන් කැලඹුණු කැල්සියම් ස්ඵටික යථා තත්ත්වයට පත්වන තුරු කරකැවිල්ල ඇති වේ. ඇතැම් විට මෙම කරකැවිල්ලත් සමග වමනය (Vomiting) සහ ඔක්කාරය (Nausea)ඇතිකරන අවස්ථාද දක්නට ලැබේ.
සාමාන්‍ය ලෙස කටයුතු කරමින් සිටින පුද්ගලයකු හට මෙවැනි රෝග ලක්ෂණ සහිතව හදිසි කරකැවිලි තත්ත්වයක් ඇති වුවහොත් ඉතාමත් ඉක්මනින් වෛද්‍යවරයකු හමුවීම කළ යුතුවේ. එහිදී ඔබගේ කරකැවිල්ලට හේතුව නිර්ණය කිරීම සඳහා වෛද්‍යවරයා විසින් පරීක්ෂණ මාලාවක් සිදු කරනු ඇත. එහිදී හිසෙහි විවිධ චලනයන් සිදු කොට ඇස්වල නොසැලකිලිමත් චලනයන්, අක්ෂි චලනයන් පාලනය කිරීමට නොහැකිවීම ආදි කරුණු නිරීක්ෂණය කරනු ලබයි. එවැනි සරල ක්‍රම මගින් ඔබගේ රෝගය පිළිබඳ නිශ්චිත නිගමනයකට ඒමට නොහැකි වුවහොත්Electronystagmography (ENG), Videonystagmography (VNG) හෝ Magnetic resonance imaging (MRI) පරීක්ෂණවලට ඔබව යොමු කිරීමට වෛද්‍යවරයා කටයුතු කරනු ඇත.

ඔබගේ රෝගය BPPV තත්ත්වය වුවහොත් ඒ සඳහා කළ යුතු ප්‍රතිකාරය වන්නේ කැළඹී විසිර ඇති කැල්සියම් ස්ඵටික නැවතත් පැස තුළට යොමු කිරීමයි. මෙය නිසි ව්‍යායාම ක්‍රම මගින් සිදුකළ හැකි තත්ත්වයකි. ඖෂධ වර්ගද ලබාදීම සිදුකළත් වඩාත්ම සුදුසු සහ නිට්ටාවටම සුව වන ප්‍රතිකර්මය වන්නේ නිසි ව්‍යායාම රටාවකින් ස්ඵටික නැවත ස්ථානගත කර ගැනීමයි.

Meniere’s

මෙම තත්ත්වය අභ්‍යන්තර කනට බලපාන දුර්ලභ තත්ත්වයකි. මෙයටද හේතු වන්නේ අභ්‍යන්තර කනෙහි සමතුලිතතාව නැති වීමයි. අභ්‍යන්තර කන තුළ ඇති අර්ධ වක්‍රාකාර නාළවල තිබෙන තරලයේ පීඩනය වැඩි වීමෙන් Meniere’s රෝගය ඇති කරයි. මෙම තත්ත්වය ඇතිවීමට නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැති අතර කනෙහි තරල නිපදවීම වැඩිවීම හෝ ඒවා නැවත උරාගැනීමේ ක්‍රමවේදය අඩු වීම මෙයට බලපාන බව විශ්වාස කෙරේ.

Meniere’s රෝගය නිසා ඇතිවන කරකැවිල්ල හදිසි ප්‍රහාරයක් මෙන් ඇති වී පැය දෙක තුනක කාලයක් පුරා පැවතිය හැක. මෙහිදී කන්වල නිතර පවතින ‘හෝ’ ගාන ශබ්දයක් ඇති විය හැකි අතර තරලය පිරීම නිසා ඇතිවන පටල ඇදීමෙන් මෙය සිදුවේ. එසේම කන් අගුල් වැටී ඇති (දැඩි පීඩන තත්ත්වයක්) බවක් දැනීම සහ රෝගයට නිසි ප්‍රතිකාර නොගැනීමෙන් හෝ ප්‍රතිකාර ගැනීමට ප්‍රමාද වීමෙන් කන් ඇසීම අඩු බවක් සහ නිතර නිතර කරකැවිල්ල ගතිය ඇතිවිය හැක. මෙම රෝගයත් සමග ඇතිවන ඩැරඑසටද තත්ත්වය නිසා රෝගීන්ට වමනය යාමට පටන් ගත හැකි අතර පැය දෙක, තුනක සිට වරුවක්, දවසක් ගතවන තුරු වුවත් මෙම කරකැවිල්ල පැවතීමට පුළුවන. එය සමනය වීමට නම් අභ්‍යන්තර කන තුළ පවතින පීඩනය සමතුලිත තත්ත්වයට පත්විය යුතුයි. ඉහත රෝග ලක්ෂණ ඇත්නම් තමන් විසින් ගනු ලබන නිගමනවලට නොගොස් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය. එහිදී වෛද්‍යවරයා ඔබව පූර්ණ පරීක්ෂණයකට භාජන කොට ඔබගේ රෝගය නිර්ණය කරනු ඇත.

මිනිත්තු 20 සිට පැය 12 හෝ පැය 24 දක්වා පවතින vertigo attacks දෙකක් හෝ ඊට වැඩි ගණනක් පිළිබඳ සලකා බැලීම, ශ්‍රවණාබාධ පරීක්ෂණයක් මගින් ඔබගේ ශ්‍රවණයට හානි වී ඇද්දැයි බැලීම, කන තුළ පවතින ‘හෝ’ ගාන ශබ්දය හා පිරුණු ගතියක් සමග ඇතිවන පීඩනයක් දැනීම ආදි කරුණු ගැන වෛද්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවනු ඇත. මෙය BPPV රෝගය මෙන් සුලබ vertigo තත්ත්වයක් නොවේ. ඇතැම් විට Meniere’s රෝග ලක්ෂණ ඔබ වෙතින් පෙනුණත් මෙම තත්ත්වය බරපතල රෝගයන් පිළිබඳ දැල්වෙන රතු එළියක් විය හැක. එනිසා වැඩිදුර ස්කෑන් පරීක්ෂණ ආදිය සමග උපදේශනය ඉතා වැදගත් වේ. මෙම රතු එළි දල්වන අනතුරුදායක රෝගී තත්ත්වයන් අතර හිස තුළ ඇති තුවාල, ආඝාත, ශරීරයේ පටක අසාමාන්‍ය ලෙස තද වීම (multiple sclerosis), මොළයේ පිළිකා ආදි තත්ත්වයන් ඇතුළු අවස්ථා ගණනාවක් දැක්විය හැක.

Vestibular Neuritis රෝගය

අභ්‍යන්තර කනේ ඇතිවන සමතුලිතතාව බිද වැටීමෙන් හටගන්නා කරකැවිල්ල ඇති කරන තවත් රෝගී තත්ත්වයක් ලෙස මෙය හැඳින්විය හැක. අභ්‍යන්තර කනෙහි vestibulocochlear ස්නායුවට (මෙය කනෙහි අර්ධ වක්‍රාකාර නාළ සහ කර්ණශංඛයේ ඇති ස්නායුවලින් ආරම්භ වී මොළයට ගමන් කරන ශ්‍රවණ ස්නායුව ලෙසද දැක්විය හැක.) බලපාන ආබාධයක් ලෙස මෙය දැක්විය හැක. මෙම ස්නායුව ඔබේ අභ්‍යන්තර කනේ සිට මොළයට ශරීරයේ සමබරතාව සහ හිස පිහිටන තත්ත්වයන් (head position) පිළිබඳ තොරතුරු යවනු ලබයි. යම් විදියකින් මෙම ස්නායුව ඉදිමුණු (swollen) හෝ ප්‍රදාහ (inflamed) වූ විට, එය ඔබේ මොළය තොරතුරු කියවන ආකාරයට බාධා කරනු ලබයි. එහිදී dizziness, vertigo සහ අනෙකුත් සමතුලිතතාවන් සම්බන්ධ රෝග ලක්ෂණ ඇති කෙරේ.

මෙම රෝගී තත්ත්වය පිළිබඳව දැක්වෙන එක්සත් ජනපද වාර්තාවල සඳහන් වන්නේ පුද්ගලයන් 100,000 කින් 4 දෙනෙකු පමණ මෙම රෝගයට ගොදුරු විය හැකි බවයි. මෙම රෝගී තත්ත්වය සියලුම වයස් කාණ්ඩවලට වැළඳිය හැකි වුවත් ළමුන් තුළ එය අඩුවෙන් දක්නට ලැබේ. විශේෂයෙන්ම 30-50 වයස් කාණ්ඩය මෙයට බහුලව ගොදුරු වේ.

Vestibular Neuritis සහිත පුද්ගලයන් උග්‍ර අවධියක් සහ නිදන්ගත අවධියක් හරහා ගමන් කරයි. මෙයින් අදහස් කෙරෙන්නේ සතියක් පමණ හදිසි දරුණු, දැඩි රෝග ලක්ෂණ ඇති කර පසුව සති කිහිපයක් පුරා හෝ මාස කිහිපයක් දක්වා ඕනෑම කාලයක් පැවතිය හැකි සාමාන්‍ය රෝග ලක්ෂණ ඇතිවිය හැකි බවයි. නමුත් මෙවැනි තත්ත්ව කලාතුරකින් ඇතිවිය හැකි අතර ඇතමෙකුට වසර ගණනාවක් පවතින දිගු කාලීන Vestibular Neuritis රෝග ලක්ෂණ වර්ධනය වන ආකාරයක් පෙන්නුම් කරයි.

උග්‍ර Vestibular Neuritis දින කිහිපයක් පවතින අතර රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වේ. දරුණු කරකැවිල්ල (severe vertigo) දැඩි ක්ලාන්තය (Intense dizziness) සමතුලිත බව නැතිවීම, ඔක්කාරය සහ වමනය, අවධානය යොමුකිරීමේ අපහසුතා, චලන සංවේදිතා වැඩිවීම, අක්ෂි චලනයන් පාලනය කිරීමට අපහසුවීම ආදි තත්ත්වයන් දැක්විය හැක.

Vestibular Neuritis හි නිදන්ගත අවධිය සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා පැවතිය හැකි අතර එහිදී, නිතර පවතින සැහැල්ලු හිසරදය, හිස සහ ශරීරයේ චලනයන් සමග ඇතිවන dizziness ගතිය, එතරම් දරුණු නොවන ඔක්කාරය, කලබලකාරී පරිසරයක ඇවිදීම වැනි ක්‍රියාවන්හි දුෂ්කරතාව, කන්වල පීඩනයක් දැනීම, මෘදු චලන සංවේදිතා, කාංසාව Anxiety) වැනි තත්ත්වයන් ඇතිවිය හැක. Vestibular Neuritis රෝගයේ ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි අතර ඔබේ රෝගයට නිශ්චිත හේතුව ස්නායු හානි වූ ප්‍රදේශය සහ ඔබේ සෞඛ්‍ය ඉතිහාසය ඇතුළු සාධක මත රඳා පවතී.

vertigo කරකැවිල්ල සම්බන්ධව අප ඉහත විමසා බැලූ සියලු කරුණු අභ්‍යන්තර කනෙහි ඇතිවන සංකුලතා නිසා හටගන්නා තත්ත්වයන් වේ. නමුත් ඇතැම් අයට ස්නායු පද්ධතියේ ගැටලු නිසාද මෙවැනි රෝග ලක්ෂණම ඇතිවිය හැක. එසේ ස්නායු පද්ධතියේ සිදුවන දෝෂ නිසා හටගන්නා කරකැවිල්ල සුව කිරීම ඉතා අපහසු බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එම නිසා ඉහත සඳහන් කළ සියලුම තත්ත්වයන් පිළිබඳව ඉතාමත් පැහැදිලි නිගමනයකට පැමිණීමට නම් වෛද්‍ය සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

Share this Post